පාසල් විවෘත කෙරෙන දින සිට පාසල් නොපැමිණෙන ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප් අත්හිටුවන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පැවැසීය.
එමෙන්ම ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනෙන බවත් ආණ්ඩුකාරවරයා කීවේය. ඒ මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල වැවරවුමේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේ ඊයේ (19 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.
පාසල් විවෘත කරන දින පාසල් නොපැමිණ විනය විරෝධී කටයුතුවල යෙදී 25 වැනිදා පාසල්වලට එන ගුරුවරුන්ට පාසල්වලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් එම යෝජනාව හකුළාගෙන හෙටම පාසල් පැමිණීමට සිතුවොත් වඩා යෝග්‍ය බවත් කී ආණ්ඩුකාරවරයා පාසල්වලට පැමිණ විනය විරෝධී ක්‍රියා කිරීමට කිසිවෙක් හෝ උත්සාහ කළහොත් ඊට ඉඩ නොතබන බවද කීය.
පාසල් යළි විවෘත කිරීමට විරුද්ධ වීම දේශද්‍රෝහී සාපරාධී මෙන්ම ජනතාද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
කම්කරු නීතිය අනුව වර්ජනයක් පවතින අවස්ථාවේදී වර්ජකයන්ට වැටුප් නොගෙවන බවත් වර්ජනයෙන් පසු අවශ්‍ය නම් වැටුප් ලබා ගැනීමට හැකි බවත් නීතිඥයකු වශයෙන් තමන් දන්නා බවත් ඒ මහතා කීවේය.













