හෙට සිට ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (17) දිනයේ සිට ඉදිරි දිනවල උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.