කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක රියදුරෙක්ට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.
ඊයේ (26) පස්වරුවේ හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ ‘හනුමා’ නමින් හඳුන්වන පුද්ගලයෙකුගේ ගෝලයෙක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.
පසුගිය 25 වනදා මීගමුව, තෝප්පුව ප්‍රදේශයේ දී අදාළ බස් රථ රියදුරා සහ හලාවත – කොළඹ අතර ධාවනය කරන පුද්ගලික බස් රථයක රියදුරෙකු ලෙස කටයුතු කර ‘හනුමා’ නමින් හඳුන්වන පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා.
අතර මඟ දී බස් රථයට මගීන් නංවාගැනීම ඊට හේතුව වී ඇති බවයි වාර්තා වුණේ.
එම සිද්ධියේ පසු ඊයේ (26) දින සවස පුද්ගලයෙක් කුඩා ලොරි රථයකින් කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයේ මඟ හරස් කර නවත්වා බස් රථයේ රියදුරුට පහර දී බස් රථයට ද අලාභ හානි සිදුකර තිබෙනවා.
මෙම පහරදීම සඳහා ‘හනුමා’ නමින් හඳුන්වන පුද්ගලයාගේ ගෝලයෙක් පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.




