සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
සූර්ය විදුලිබල උත්පාදකයින්ට එම විදුලිය මිල දී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි අධිකරණ වාර්තාකාරිණිය තහවුරු කළේ.
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ මෙම පෙත්සම අද (25) කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කළා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වහලවල් මත සවිකර තිබෙන සූර්යබල උත්පාදන කෝෂ හරහා නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිල දී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මෙන්ම ලෙකෝ ආයතනය විසින් ගෙවනු ලබන ගාස්තු ඉකුත් ජූලි මස 01 වැනිදා සිට අත්තනෝමතික ලෙස අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.
විදුලිබල පනතට අනුව මෙවැනි මිල අඩු කිරීමක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාගත යුතු බව පෙන්වා දෙන පෙත්සම්කරුවන්, එහෙත් මෙම අඩු කිරීම සඳහා එම කොමිසමේ අනුමැතිය ලබාගෙන නොමැති බවට චෝදනා කරනවා.
එමෙන්ම අදාළ ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මගින් දැනුම්දීමක් කර තිබුණත් එය ක්‍රියාත්මක වී නොමැති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මෙලෙස ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරවෝ අභියාචනාධීකරණයෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙම පෙත්සම් විභාගයේ කටයුතු අවසන් වන තුරු අදාළ ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටිනවා.













