කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය චිප් නිෂ්පාදනයට භාවිත කරන ඉතා සියුම් විදුම් කටු සැපයුමට චීනය පනවා ඇති ටංස්ටන් අපනයන සීමා හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා.
ජපානය, තායිවානය, අමෙරිකාව සහ යුරෝපයේ නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සීමා වීමත් සමඟ එම විදුම් කටු මිල කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරික සඟරා වාර්තා කරනවා.
ටංස්ටන් කාබයිඩ් යොදා නිපදවන මෙම කුඩා විදුම් කටු, පරිගණක පරිපථ පුවරු සහ චිප් පාදකවල ඉතා සියුම් සිදුරු සෑදීමට භාවිත කෙරෙනවා.
AI තාක්ෂණයේ වර්ධනයත් සමඟ එම පුවරු වඩාත් සංකීර්ණ වීම නිසා මේවාට ඇති ඉල්ලුම ද ඉහළ ගොස් තිබෙනවා.
ජපානයේ සුමිටෝමෝ, කියෝසෙරා සහ මිට්සුබිෂි මැටීරියල්ස් ඇතුළු ප්රමුඛ නිෂ්පාදකයන්ට ද චීනයේ ටංස්ටන් සැපයුම මත පවතින රඳාපැවැත්ම හේතුවෙන් බලපෑම් එල්ල වී ඇතැයි සඳහන්.
මේ අතර, අඩු මිලට අමුද්‍රව්‍ය ලබාගත හැකි චීන නිෂ්පාදකයන් වෙළඳපොළේ සිය කොටස වැඩි කරගනිමින් සිටින බව වාර්තා වනවා.
ලෝක ටංස්ටන් නිෂ්පාදනයෙන් සියයට 79ක් පමණ 2025 වසරේදී චීනය සතු වුණා.
එමෙන්ම, ටංස්ටන් මිල මනින ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන APT මිල 2025 පෙබරවාරියේ ටොන් එකක් යුවාන් දෙලක්ෂ 12,750ක්ව පැවති අතර, මේ වනවිට යුවාන් පන්ලක්ෂ 30,000 ඉක්මවා තිබෙනවා.
චීනය පසුගිය වසරේ මුල සිට ටංස්ටන් ඇතුළු තීරණාත්මක ලෝහ කිහිපයක් සඳහා අපනයන සීමා පැනවූවා.
විකල්ප සැපයුම් මාර්ග සොයාගන්නා තෙක් චීන අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් මත තවදුරටත් රඳාපැවතීමට සිදුවිය හැකි බව කර්මාන්ත ක්ෂේත්රයේ විධායකයන් පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය, භූදේශපාලනික ආතතීන් ලෝක තාක්ෂණික කර්මාන්තයේ සැපයුම් දාමයන්ට බලපාන තවත් නිදසුනක් ලෙස සැලකෙනවා.
