ජනපති අයවැය කියවන දවසේ පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂාවක්

නොවැම්බර් 11 සහ 12 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

එළඹෙන 12 වනදා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක 2027 අයවැය කථාව ඉදිරිපත් කිරීමට අදාළව මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අනුව මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම, මෙම දිනවල දී ආරක්ෂක පරීක්ෂාවට ලක් කරන බවයි දැනුම් දී ඇත්තේ.

2026 නොවැම්බර් 12 බ්‍රහස්පතින්දා ආරක්ෂක වැඩ පිළිවෙළ පහත සඳහන් ආකාරයට සිදුකරනු ලබනවා.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ හඳුනාගත් අධිආරක්‍ෂිත/විශේෂිත වූ ප්‍රදේශ, මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ;

මහජන ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ඇත;

පාර්ලිමේන්තුවට පැමි‍ණීමේ දී හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙස‍ට ද අමුත්තන් කැටුව පැමිණීමෙන් වැළකී සිටින ලෙස ද, ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

තමන් විසින්ම, තම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථ ගාලෙහි ගාල් කිරීම සඳහා මන්ත්‍රී පිවිසුමෙහි, කාර්ය මණ්ඩල පිවිසුමෙහි සහ මහජන පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් සේවයේ යොදවනවා.

මහජන ගැලරිය ආරාධිත අමුත්තන් වෙනුවෙන් සීමා කර ඇති බ‍ැවින්, තමන් සමඟ ආරාධිත අමුත්තෙක් පැමිණෙන්නේ නම් ජයන්තිපුර පිවිසුමේදී සේවයේ නියුතු අදාළ පොලිස් නිලධාරින් වෙත ආරාධනා පත්‍රය සමඟ ආරාධිත අමුත්තා තම අනන්‍යතාවය තහවුරු කර මහජන පිවිසුම දක්වා පැමිණීමට හැකියාව පවතින බව මන්ත්‍රීවරුන්ට දන්වනවා.

පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කරනු ලැබේ;

රථ වාහන පොලිසිය සහ සමීප පොලිස් ස්ථානයන් විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබේ.

ඉහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර වේත්‍රධාරි සමඟ ද, ආරක්ෂක අංශ සමඟ ද, සහයෝගීව කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය දැනුම් දෙනවා.