සෑම භූමදානයකට පසු රාත්‍රියට කනත්තෙ නුග ගසේ වහන අමුතු ම සතා

තැන කුරුණෑගල ප්‍රදේශයේ තරමක් ප්‍රසිද්ධ සුසාන භූමියකි. වේලාව සවස තුනට ආසන්න වෙමින් තිබිණි. සවස් කාලයේ තිබූ භූමදාන කටයුත්තෙන් පසුව මරණයට පත්වූ අයගේ ඥාති සමූහයා එකා දෙන්නා ඉවත්ව ගොස් අවසන් පුද්ගලයාත් පිටත්ව ගියේ ඊට විනාඩි කිහිපයකට පෙරය. කනත්තේ මුර රාජකාරියට සිටි මැදි වියේ පසුවූ සුමනසිරි වෙනදා මෙන්ම තම සුපුරුදු රාජකාරිය කරමින් ප්‍රධාන ගේට්ටුව වසාදැමුවේ දවසේ කටයුතු නිමා කරන්නට මෙනි.

තරමක් කාර්යබහුල සුසාන භූමියක් වූ හෙයින් කලාතුරකින් දිනයක හැර අනෙකුත් සෑම දිනයකම පාහේ මෙහි අවමඟුල් කටයුත්තක් සිදුවූ අතර සුමනසිරිට මේ රාජකාරි ක්‍රමය සාමාන්‍ය දෙයකි. 

ආදාහනයක් භූමදානයක් සිදුවුවද නැතිද යන්නත්, මෙය සුසාන භූමියක්ය යන්නත් මෙහි සිටින්නේ මළගිය ඇත්තන් යන්නත් ඔහුට එතරම් වගක් නොවීය.

‘සුමනසිරිට බය නැද්ද රෑට කනත්තෙ ඉන්න?’

ඔහු දන්නා කියන බොහෝ අය නිතර නිතර ඔය ප්‍රශ්නය අසන්නේ සුමනසිරිගේ මුවට සිනාවක් නඟමිනි.‘මළගිය මිනිසුන්ට මොනවට බයවෙන්නද? බයවෙන්න ඕනෙ පණ තියෙන අයටනේ…’

ඒ සෑම අවස්ථාවකම සුමනසිරි දෙන්නේ ඔය පිළිතුරය. 

ඒ, ඔහුට මෙහි මහා අරුමයක් නැති නිසාය. එදිනද සුපුරුදු ලෙසම කාලය ගෙවී ගියේය. රාත්‍රී අඳුර පරිසරය වෙළාගත්තේය. 

ගේට්ටුව වසාදමා හොඳ හැටි නාගත් සුමනසිරි සරමකුත්, සීතලට අඳින ජැකට්ටුවත් හැඳ තම නිවෙසින් එවා තිබූ කෑම එකද කා මුරගෙයි හාන්සි පුටුවේ අසුන් ගත්තේ එදින එම සතියේ පුවත්පතද අතට ගනිමිනි. 

එහෙත් වෙනදා නොඇසුණු අමුතු හඬක් ඔහුට ඇසුණේය. මිනිසකු කෙඳිරිලි හඬින් කතා කරනවාක් වැනි හඬක් ඔහුට කිහිප වතාවක්ම ඇසුණේය. සුමනසිරි පුවත්පත පසෙක තබා වටපිට බැලුවේය. 

යළිත් කිහිප වතාවක්ම ඒ හඬ ඇසුණේය. සුමනසිරිගේ දෑස් මුරගෙය ඉදිරිපිට ඇතිවූ නුග ගස දෙසට යොමු වූයේ ඇසිල්ලකිනි. 

ඒ අමුතු හඬ එන්නේ එදෙසිනි. සුමනසිරි විදුලි පන්දම දල්වා එදෙසට යොමු කළේ දෙගිඩියාවෙනි. 

නුග අත්තක අමුතු සතෙක් සිටිනු ඔහු දුටුවේ එවෙලේය. මිලිස් සිරුරකට සමාන හැඩයක් එම සතා කෙරෙන් දුටු සුමනසිරි, මීට ප්‍රථම කෙදිනකවත් මෙවැනි සතකු දැක නොතිබිණි.

එම සතාගේ හඬත් මිනිස් කෙඳිරියකට සමානය. කනත්තේ රාජකාරිය පුරුදු නිසාත්, හොල්මන් අවතාර පෙරේතයෝ භූතයෝ විශ්වාස නොකළ නිසාත් සුමනසිරි බියට පත් නොවුණද යම් අද්භූත ස්වභාවයක් එම සතාගේ පෙනුමෙන්ම හඳුනාගත හැකි විය.

එම සිදුවීම එතරම් ගණන් නොගත් ඔහු, යළිත් පත්තරය පෙරළා ගනිද්දී සතාගේ හඬ තරමක් ඈතින් ඇසුණේය. බොහෝ වේලාවක් යන තුරුම ඒ හඬ එම ඉසව්වෙන් ඇසුණු නිසාම සුමනසිරි විදුලි පන්දමද ගෙන එදෙසට ගියේය. පෙර වතාවේ නුග ගසෙහි සිටි සත්වයා එවර සිටියේ එදින භූමදානය සිදුකළ තැනය.

මේ ආකාරයට ඉන්පසු දින කිහිපයක්ම මේ අද්භූත සත්වයා දකින්නට ලැබුණේය. මුලින් නුග ගසෙත්, පසුව භූමදානය කළ තැනත් හඬ නැඟීම එම සතාගේ පුරුද්දක් සේ විය. එහෙත් භූමදානයක් නොකළ දිනවල සතා නොපැමිණෙන බවද සුමනසිරි හඳුනාගත්තේය. සති ගණනක් මාස ගණනක් ඔහු මේ අමුතු සතා ගැන බලා සිටියේය.

හෙතෙම මේ බව සිය මිතුරකුට පැවැසුවේ ඔහුටද මෙම සතාව බලාගන්නට පැමිණෙන ලෙස දන්වමිනි. එහෙත් එදින භූමදානය අවසන්ව රාතිය පුරා දෙදෙනාම බලා සිටියද අමතු සත්වයා පැමිණියේ නැත. මිතුරා පැවැසුවේ සුමනසිරිගෙ හිතලුවක් විය හැකි බවය.

මෙලෙසින් මාස ගණනක් මෙම අද්භූත අත්දැකීම විඳි සුමනසිරි, ඔහුගේ මිතුරකුගේ අවමංගල්‍ය අවස්ථාවකදී තවත් අයකු සමග මෙම කතාව පැවැසුවේ සිනාසෙමිනි.‘දැන් ඒ සතා ආවේ නැත්නම් ගෙදර කෙනෙක් ආවෙ නෑ වගේ. මං හිතන්නේ ඌ මළගිය ප්‍රාණකාරයන්ට සම්බන්ධ සතෙක් වෙන්න ඇති. නැත්නම් ඔහොම මරණයක් දවසට විතරක් එන්න ඕනෙ නෑනෙ…’‘ඌ මුරගේ ළඟ නුග ගහට ඇවිත් මගෙන් අවසර අරගෙනයි ඇතුළට යන්නේ. එහෙම නැත්නම් මුරගේ ළඟ නුග ගහේ සද්ද කරන්න හේතුවක් නෑනෙ. අනික් එක මගෙත් එක්ක තරහක් තියේ නම් මාව බයකරන්න හරි ඕනනේ. ඒත් නෑනේ…’

සුමනසිරිගේ කතාව අනෙක් අය අසා සිටියේ දෑස් විසල් කරගෙනය. ඒ අතරේ ඔහු තවත් අපූරු කතාවකට මුලපිරුවේය.

‘දවසක් මගේ යතුරු කැරැල්ල නැති වුණා. රෑ මං නාගෙන එද්දී වැටිලා කියලා මම හිතුවේ. හෙව්වට හමුවුණේ නෑ. අන්තිමට මං කෑමත් නොකා යතුරට වෙච්ච දේ ගැන කල්පනා කර කර ඉද්දී මුරගේ ඉස්සරහ පඩියට සිලිං ගාලා යතුර වැටුණා. කොහෙන් වැටුණද කියලා දන්නෙ නෑ. ඊට ටික වෙලාවකට පස්සේ අර සතා කෑගහන සද්දෙත් ඇහුණා…’

‘තවත් දවසක් කොහේදෝ යන මනුස්සයෙක් කනත්තට පැනලා බයවෙලා කෑගහගෙන මුරගෙට ආවා. වෙච්ච දෙයක් දැක්ක දෙයක් දන්නෙ නෑ. මං මිනිහගෙ බය ඇරලා නූලක් මතුරල දාලා පහුවදා උදේ ගෙදර යැව්වා.’

සුමනසිරිගෙ කතාවෙන් තේරුම් ගියේ අද්භූත සතා ඔහුවත් ආරක්ෂා කරන බවකි. එම කතාව අසා සිටි මා එම සතාව පෙන්වන්නැයි යෝජනා කළද, එය පලක් නොවනබව සුමනසිරි පැහැදිලි කර දුන්නේ ඔහු සතු අත්දැකීම්ද විස්තර කරමිනි. ඔහු මේ කතාව පවසා දිගු කාලයකි. එහෙත් තවමත් එම අමුතු අත්දැකීම සුමනසිරි විඳිනු ඇතැයි අනුමාන කළ හැකිය.

සත්‍ය කතාවකි
නම්ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න
කුමාර රත්නායක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48