සා.පෙළ සමත් අසමත් සිසුන් දෙපිරිසට ම සුබ පණිවුඩයක්

සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් දෙපිරිසටම මෙරට තුළ වෘත්තීය අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව පවතින බව තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රතීතන සහ තත්ත්ව කළමනාකරණ පිළිබඳ අධ්‍යක්ෂ සමන් රූබසිංහ පවසනවා.

දිවයින පුරා පාසල් 525ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, වෘත්තීය පුහුණු ආයතනය මඟින් පුවත්පත් දැන්වීම පළ කළ පසුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සියළුම සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙම සියළු පාඨමාලා රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් සකස් කර ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

සමන් රූබසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන 101 කතා (වන් ඕ වන් කතා) වැඩසටහනට පසුගියදා එක්වෙමින්.

මෙම වැඩසටහනේදී පළමු වසර පාසල තුළ වෘත්තීය අධ්‍යාපනය ලබාදීම සිදු කරන අතර, අනෙක් වසර තුළ වෘත්තීය පුහුණු ආයතනයකට යොමු කර NVQ මට්මමේ සහතිකයක් ලබාදෙන බවද පැවසු ඔහු NVQ 4 සහතිකය ලබාගැනීමෙන් අනතුරුව ඩිප්ලොමා, උසස් ඩිප්ලොමා මෙන්ම උපාධිය දක්වා යොමුවීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නා.

උසස් පෙළ සඳහා යොමු වීමේ අවස්ථාව හිමි වන්නේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පදනම් කර ගෙනයි. එහිදී සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන් අධ්‍යාපන ක්‍රියාවලියෙන් බැහැර වීමක් සිදු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරය හෙබවු සමයේ “ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන” හඳුන්වා දෙනු ලැබූයේ අනාගත අභියෝගයන්ට මුහුණ දීමට ශිෂ්‍ය ප්‍රජාව සූදානම් කිරීම සඳහා පාසල තුළින්ම වෘත්තීය අධ්‍යාපනයට සිසුන් යොමු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනිමින්.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රූබසිංහ,
“මෙම වැඩසටහන මඟින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සියළු සිසුන්ට විභාගය සමත් වූවත් නැතත් වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමේ අවස්ථාව සළසා දී තිබෙනවා. උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් වගේම ඉන් අනතුරුව වෘත්තිකයෙක් ලෙස විදේශ ගතවීමට බලාපොරොත්තු වන බොහෝ දෙනකුම වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු වීමේ අවස්ථා පිළිබඳ විමසනවා. එහිදී ඔවුන්ට අවශ්‍ය භාෂා දැනුම ලබාගැනීම සඳහා කෙටි කාලීන පාඨමාලාවක් හැදෑරිය හැකියි. ඒ වගේම මෝටර් කාර්මික, පෑස්සුම් ශිල්පී, කෘෂිකර්ම සහායක , හෝටල් ක්ෂේත්‍රය වැනි කුමන ක්ෂේත්‍රයකට යොමු වුවත් පරිගණක දැනුම ලබාතිබීම ද ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. එය වෘත්තිය සුදුසුකමක් නොවුනත් අමතර සුදුසුකමක් ලෙස වැදගත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් වුවත් නැතත් වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමට තීරණය කරන තවත් පිරිසක් ඉන්නවා. ඔවුන් සඳහා මේ වන විට මෙරට පාසැල් 525ක වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන සඳහා අයදුම් කිරීමට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කෙරෙන තෙක් බලා සිටිය යුතු නැහැ. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන හරහා පාසැල තුළින්ම වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. මේ සඳහා අයදුම්පත් කැඳවීම පුවත්පත් දැන්වීම් හරහා දැනුම් දෙනු ලබනවා.
මෙම වෘත්තීය පාඨමාලා සකස් වී තිබෙන්නේ රැකියා වෙළෙඳපොල ඉලක්ක කර ගෙනයි. වෘත්තීය ක්ෂේත්‍රයෙන් උසස් පෙළ කිරීමේදී වසර දෙකක පාඨමාලාවේ පළමු වසර පාසැල තුළ වෘත්තිය අධ්‍යාපනය ලබා දෙනවා. අනෙක් වසර සඳහා ලියාපදිංචි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලබනවා. අවසානයේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය ලබා දීමට කටයුතු කරනවා. මෙම වැඩසටහන හරහා පසුගිය වසර 5-6ක කාලයක් තුළ ඉතා දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමට හැකි වී තිබෙනවා. ඒ නිසාම මෙය දැන් දරුවන් අතර වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.
මෙහිදී අප තෝරා ගනු ලබන්නේ NVQ 3 සහ NVQ 4 සහතික පත්‍ර සඳහා වුවත් ඉන් අනතුරුව ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා මෙන්ම UNIVOTEC වෙතින් උපාධිය හැදෑරීමේ අවස්ථාවද හිමි වෙනවා. NVQ 6 සහතිකය ලබා ගත් අයකුට විදේශයක උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට වුවත් අවස්ථාව තිබෙනවා. මෝටර් කාර්මික ශිල්පය, පෑස්සුම් ශිල්පය, කෘෂි සහ හෝටල් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර 26 ක් ආවරණය කරමින් මෙම පාඨමාලා පැවැත්වෙනවා.
ඒ වගේම උසස් පෙළින් පසු පාසැල හැර යන සිසුන්ටද තෘතියික හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ ලියාපදිංචි වූ පුද්ගලික හා රාජ්‍ය ආයතන 1400 හරහා ඔවුන් කැමති වෘත්තීය පුහුණුවකට යොමු වීමේ අවස්ථාව තිබෙනවා. www.tvec.gov.lk වෙබ් අඩවිය හරහා ඊට අදාළ තොරතුරු ලබා ගත හැකියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
11
+1
3
+1
1
+1
5
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?