සහෝදරයා සමඟ දිය නෑමට පාසල් සිසුවෙක් මහවැලි ගඟේ සැඟව යයි

ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙක් දිය ගිලීමෙන් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත්තේ ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ දිනවල පැවැත්වෙන පාසල් වාර විභාගය අවසන්ව සිය සහෝදරයා සහ තවත් මිතුරෙක් සමඟ ඊයේ (22) පස්වරු 03.30ට පමණ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබෙනවා.

අතුරුදන් වූ සිසුවා සෙවීමේ සෝදිසි මෙහෙයුම් ඊයේ පස්වරුවේ සිටම ආරම්භ වී ඇති අතර මේ වන තෙක් ඔහුව සොයා ගැනීමට හැකිව නැහැ.

කෙසේ වෙතත් ගම්පොල පොලිසිය සඳහන් කළේ නාවික හමුදා කිමිදුම්කරුවන් ද යොදවා මේ වන විට අතුරුදන් වූ සිසුවා සෙවීමේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.