මම සුවෙන් ඉන්නවා. හැබැයි බොහොම කාර්යබහුල සීමාවකයි ඉන්නේ. අන්න ඒ ආරම්භය හොඳයි අපේ කතාවට.
එහෙම නම් කියන්න ඔබේ අවිවේකී කාලවකවානුවට හේතුව කුමක්ද?
නාට්‍යක රූගත කිරීම් අවසාන වෙමින් යනවා. තව අලුත් ටෙලියක වැඩ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අතර මගේ දෝණි ආරාධ්‍යා වෙනුවෙන් කාලය හුඟක් වැය කරනවා. ඇත්තටම මමයි, චතුරිකයි දූ පැටියව තනි නොකරන්න නිතර වගබලා ගන්නවා. චතුරිකාගේ අම්මත් බබාගේ වැඩකටයුතුවලදී අපට ලොකු සහයෝගයක් දෙනවා. හැමදේම ඒ විදියට කාලය සමග ගලා යන අතරතුර මමයි, චතුරිකයි අලුත් වැඩකට අත ගහන සූදානමක මේ දවස්වල කල්යල් බලනවා.
ඒ කල්යල් බලන අලුත් වැඩේ දැන්මම කියන්න කැමැති නැද්ද..?
මහ ලොකු රහසක් නෙවෙයි. චතුරිකා ලියන තිරනාටකයන් මගේ අධ්‍යක්ෂණයක් විදියට කලඑළි බහින්නයි ලකලැහැස්ති වෙන්නේ.
ඒක අපූරු ආරංචියක්, චතුරිකා තිර රචනයට යොමු වෙලා… ඔබ එය නිර්මාණය කරන්නට සූදානම් වෙනවා…?
ඔව්… ඇත්තටම එය අපූරු වැඩක් වේවි… මොකද බොහෝ කල් සිට මෙවැන්නක් සඳහා මමත්, ඇයත් පෙරුම්පුරා බලා සිටියා කිව්වොත් අවංකවම එයයි ඇත්ත කතාව.
ඒ පෙරුම් පිරිල්ලට විශේෂ හේතුවක් තිබුණද ගයාන්..?
අනිවාර්යයෙන්ම එයට සුවිශේෂී හේතුවක් තියෙනවා. මෙතෙක් කල් සිදුවුණේ මගේ නිර්මාණකරණය වෙනුවෙන් චතුරිකා නිෂ්පාදනයෙන් දායක වීමයි. මෙහිදී සිද්ධ වෙන්න යන්නෙ ඇගේ තිරනාටකයක් මගේ නිර්මාණකරණයෙන් අලංකාර වීමයි.
ටෙලියක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන විට, ‘තිරනාටකය’ එම අධ්යක්ෂවරයාගේ කැමැත්තට අනුව… අධ්යක්ෂවරයාගේ නිර්මාණශීලීත්වයට ගෝචර වන විදියට සැකැසිය යුතුයි. එවිට ගුණාත්මක නිර්මාණයකට අවශ්‍ය පසුබිම සාර්ථකව ඉබේම මතුව එනවා.
චතුරිකා ඇගේ තිරනාටකය නිර්මාණය කළේ මා සමගද කතාබහ කරන ගමන්මයි. මගේ සිතුම්-පැතුම් සහ මගේ නිර්මාණශීලී රටාවට අනුව මාව තේරුම් ගෙන ඉතාම අපූරු කතාවකට අවශ්‍ය බීජයක් ඈ විසින් මට තිළිණ කළා. දැන් මට පුළුවනි ඒ බීජය තුළින් හොඳ කලාත්මක අස්වැන්නක ඵල නෙළන්න.
චතුරිකාගේ තිරනාටකය තුළ ඔබ සෙව් ඒ ගැම්ම ලැබුණාද?
ඔව් ඉතින්… අපි දෙන්නා ඒ ගැන කතාබහ කළා, අදහස් හුවමාරුවක යෙදුණා. වෙනදාට චතුරිකාගේ නිෂ්පාදනය සඳහා මම කරන නිර්මාණකරණයට ලැබෙන්නේ අපි දෙදෙනාටම ආගන්තුක වූ පිටපතක්.
මෙතැනදී ඒ ආගන්තුක බව ඇයටවත්, මටවත් දැනුණේ නැහැ. මේ සිදුවීම බොහොම හොඳයි නේද… මේ විදියට මෙතැන සීන් එක අවසාන වුණොත් හොඳයි නේදැයි කියන අදහස් වීමසීම සහ මනාපය, අමනාපය තුළ නිර්මාණයට අවශ්‍ය තිරනාටකය ලියැවුණා. ඔබගේ වචනවලින්ම කියනවා නම් මා සොයමින් හිටපු ගැම්ම මට ලැබුණා.
ඔය තරමට ඔබ තෘප්තියට පත් ඒ කතා පුවත ගැන යමක් කියනව නම්..?
ඒක පවුලක් වටා ගෙතුණු සුන්දර කතාවක්. දැනට ඒ ටික ඇති… රහස්‍ය බව සහ කුතුහලය තුළ ප්‍රේක්ෂකයා එය පිළිගන්නා තුරු බලා ඉන්න මම ආසයි.
ඔබ සහ චතුරිකා එහි චරිත නිරූපණයෙහි යෙදෙනවාද..?
චතුරිකා කොටස් කිහිපයක පමණක් රඟපානවා. ඇය මටද එහි චරිතයක් වෙන්කොට තිබෙනවා. නමුත් ‘අධ්‍යක්ෂණය කරමින් රඟපෑම’ මා තුළ එතරම් මනාපයක් ඇති කරන්නේ නැහැ. චතුරිකාගේ සුහද බලකිරීමත් ඈ මා වෙනුවෙන් නිර්මාණය කර තිබෙන චරිතයෙහි තිබෙන සිත්කලු බවත් නිසා ඇතැම් විට මම එය බාර ගැනීමට පුළුවනි. හැබැයි වැඩි බර තියෙන්නේ චතුරිකාගේ සුහද ආරාධනය මා ප්‍රතික්ෂේප කරන පැත්තටයි.
තමාව සහ අනෙකුත් රංගනවේදීන්ව හසුරුවමින් සාර්ථක අධ්යක්ෂණයක නියැළෙන නිර්මාණකරුවන් ඕනෑ තරම් ඉන්නවා ගයාන්..?
සහතික වශයෙන්ම එය සියයට සියයක් හරි. නමුත් ‘ගයාන් වික්‍රමතිලක’ එවැනි මෙහෙවරක් තුළ සාර්ථක නොවේය යන මතයක් මගේ යටි හිත තුළ තියෙනවා. අන්න ඒ හැඟීමට මම ටිකක් චකිතවත්වයි ඉන්නේ.
‘චංචල රේඛා’ චිත්‍රපටය ටෙලියට ගෙනෙන කොට සිනමා සක්විතිගේ චරිතය ලැබුණේ ඔබට..?
ඔව්… ‘දං චූටි’ ලෙස රඟපෑ ඩිනක්ෂිගේ සහෝදරයට මාව එදා තෝරා ගැනුණා. අතිශ්‍ය ජනාදරයට පත් සේන සමරසිංහයන්ගේ ‘චංචල රේඛා’ ටෙලියට නඟන විට එලෙස මාව තෝරා ගැනීම මට සතුටක් වුණා.
එදා ප්‍රේක්ෂකයෝ ඔබ තුළින් සිනමා සක්විතිව දකින්න උත්සාහ කළා..?
ඔව්… මට කනින් කොනින් එහෙම දෙයක් ඇහුණා මතකයි.
එය ඔබට ගෞරවයක්, අභිමානයක් වුණා..?
මම ගාමිණී ෆොන්සේකාට අතිශයින්ම ගරු කරනවා. නමුත් ගාමිණී ෆොන්සේකා වගේ යැයි කියා කිසිවෙකුගෙන් අසා ගැනීමේ හෝ ඔහුව අනුකරණය කිරීමේ ආශාවක් මට කවදාවකවත් තිබුණේ නැහැ. මට හැමදාමත් ඕනෑ වුණේ ‘ගයාන් වික්‍රමතිලක’ ලෙස ප්‍රේක්ෂකයන් අතර යමක් කොට පෙන්වීමටයි.
චතුරිකා පුවත්පතකට කියා තිබුණා චරිත තෝරා ගැනීමට පෙරට වැඩිය දැන් පරෙස්සම් වෙනවා කියලා. ඔබත් එහෙමද ගයාන්..?
ඔව්… හොඳ යමක් කළ හැකි, මතක හිටින යමක් කළ හැකි චරිත ගැන මම දැන් නිතර උනන්දු වෙනවා.
‘අඩු බජට් ක්‍රමයට’ යන ටෙලි කලාව ගැන ඔබේ අදහස..?
ටෙලිනාට්‍ය කලාවේ විනාශය ගෙන ආ ආරම්භය එයයි. අඩු බජට් ක්‍රමය නිසා කලාකරුවන්ගේ අනන්‍යතාවය විනාශ වෙලා. අනාගත ටෙලි කලාව ගැන හිතට දැනෙන්නේ දුකක්.
මම මගේ දූ ගැන මෙතැනදී කතා කරනවා නම්, මම හිතන විදියට ඈ කවදාකවත් ශ්‍රී ලාංකේය කලාව තුළ රංගනයට ප්‍රවිෂ්ට විය යුතු නැහැ. එහෙම වෙනවා නම් ඒ ඇයට හිමි තැන, ගෞරවය සහ වටිනාකම නිසි ලෙස ලැබෙනවා නම් පමණයි.
තවත් වැදගත්ම කාරණයක් මෙතැනදී කිව යුතුමයි. කලාකරුවකු ලෙස කිසිවෙකු රංගනයට එක්වන්නේ නම් ඔහුට හෝ ඇයට වෘත්තීය වශයෙන් වෙනත් ආදායමක් තිබිය යුතුමයි. ඒ වගේම කලාකරුවනට ආදරය කරන පිරිසක් වාගෙම කලාකරුවන්ව හෑල්ලු කරන පිරිස්ද අපේ රටේ ඉන්නවා. සරල බසින් කියනවා නම් නිළියන්ව ඔවුන් හඳුන්වන්නේ ‘බඩුවක්’ ගානටයි. සෑම පිරිමියෙකු සමගම ඔවුන් යන්න සූදානම් පිට ඉන්න බවයි ඒ මිනිසුන් කියන්නෙ. ඉන්දියාව වාගේ රටක කලාකරුවනට ලැබෙන තැන, ගෞරවය ශ්‍රී ලාංකේය කලාකරුවනට ලැබෙන්නේ නැහැ. යම් රටක කලාවට සහ සංස්කෘතියට නිසි ගෞරවය ලැබෙන්නේ නැත්නම් එය පිරිහී යෑම වළක්වන්න බැහැ.
ඔබ බොහොම ලොකු කලකිරීමක සිටින හැඩයි..?
නැහැ… මම බොහෝ දේ තේරුම් අරන් ඉන්නේ. මේ රට පාලනය කළ කිසිම දේශපාලන පක්ෂයකට බැරි වුණා, ප්‍රේක්ෂකයන් තුළ කලාකරුවනට ගෞරවයක්, කීර්තියක් අරන් දෙන්න. ‘කලාකරුවන් දේශයකට නැතුවම බැරි පිරිසක්’ කියන හැඟීම ප්‍රේක්ෂක සිත් තුළ ඇති කරන්නට දේශපාලකයන් කවදාවත් උනන්දු වුණේ නැහැ. ඔවුන් කළේ කුමක්ද… ඔවුන්ගේ ආසනයට යන පාර හදා ගන්න කලාකරුවන්ව අලෙවිය සඳහා ගත්තා.
ඔබත් එහෙම අලෙවි වුණා නේද ගයාන්…?
අලෙවි වන්නට පළමුව මම සියල්ල තේරුම් අරන් සැණෙකින් අයින් වුණා.
ඔබ දේශපාලනයට ගියේ කලාකරුවාට දේශය තුළ වටිනාකමක් අරන් දෙන්නද?
කලාකරුවනට විතරක් නෙවෙයි… ‘වටිනාකම’ ලැබිය යුතු සෑම කෙනෙකු වෙනුවෙන්මයි මම ගියේ.
දේශපාලනයට පැමිණි කිසිම කලාකරුවකු ‘කලාව’ කියන විෂයට අගයක් දුන්නේ නැහැ ගයාන්..?
කලාකරුවනට ඒ කිසිවක් කරන්නට දේශපාලකයන් කියන මංකොල්ලකරුවන් ඉඩ දුන්නේ නැහැ කිව්වොත් ඒක තමා ඔය ප්‍රශ්නයට හරියටම හරියන උත්තරය.
ඔබ දේශපාලනයට ගිය එකට චතුරිකා තදින් විරුද්ධ වූයේ විශේෂ හේතුවක් ඇතිවද..?
එකම එක හේතුවයි එයට තිබුණේ. ඒ මට එය කොහොමවත් නොගැළපෙන බව ඇය දන්නා නිසයි. දේශපාලනය මඩ ගොහොරුවක් කියා කිසිවෙකු කියනවා නම් හරියටම හරි යන හැඳින්වීම එය නෙවෙයි.., දේශපාලනය කියන්නේ අසූචි ගොඩක්… අන්න එයයි නියම කියමන.
-දමයන්ති රේණුකා ප්‍රනාන්දු