සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වන FBC, FBS, RBS, HbA1C, Lipid Profile, LFT, RFT, Dengue NS1, UFR, CRP, CT, MRI, Ultrasound, Mammogram සහ DEXA ඇතුළු වෛද්‍ය පරීක්ෂණ රැසක මිල ගණන් සඳහන් දැන්වීම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද නිල දැන්වීමක් නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම දැන්වීමේ සඳහන් සියලුම වෛද්‍ය පරීක්ෂණ සඳහා එහි දැක්වෙන මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් පත්‍ර මඟින් නියම කරන ලද උපරිම මිල ගණන් ලෙස වැරදි අවබෝධයක් ඇතිකර නොගන්නා ලෙසද එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් මඟින් නියම කර ඇති වෛද්‍ය පරීක්ෂණ උපරිම ගාස්තු,
- FBC – සම්පූර්ණ රුධිර ගණන පරීක්ෂණය
එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා උපරිම ගාස්තුව — රු.400/- - Dengue NS1 Antigen – ඩෙංගු NS1 ප්‍රතිදේහජනක පරීක්ෂණය
එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා උපරිම ගාස්තුව — රු.1,200/-
මෙම උපරිම ගාස්තු 2020.07.29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග අංක 67 මඟින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ නියම කර තිබෙනවා.
- COVID-19 PCR පරීක්ෂණය
එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා උපරිම ගාස්තුව — රු.6,500/- - COVID-19 Rapid Antigen Test (RAT)
එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා උපරිම ගාස්තුව — රු.2,000/-
මෙම උපරිම ගාස්තු 2021.08.12 දිනැති අංක 2240/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග අංක 75 මඟින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ නියම කර ඇති අතර, එම නියෝගය 2021 අගෝස්තු 12 දින සිට බලපැවැත්වෙන බව ගැසට් පත්‍රයේ සඳහන් වනවා.
ඉහත සඳහන් කළ සමාජ මාධ්‍යයේ සංසරණය වන දැන්වීමේ සඳහන් FBS, RBS, HbA1C, Lipid Profile, LFT, RFT, UFR, CRP, CT Scan, MRI Scan, Ultrasound Scan, Mammogram සහ DEXA Scan සඳහා දක්වා ඇති මිල ගණන්, ඉහත සඳහන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝග අංක 67 හෝ නියෝග අංක 75 මඟින් නියම කරන ලද උපරිම ගාස්තු නොවන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.













