ශ්රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සඳහා තවත් නවතම ගුවන් යානයක් එක්කරගෙන තිබෙනවා.
ඒ.- 330 – 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් ශ්රී ලන්කන් ගුවන් සේවය මඟින් මෙලෙස කල් බදු පදනම මත ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම ගුවන් යානය ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානී දීපාල් පෙරේරා සඳහන් කළේ.
මෙම යානය ප්රංශයේ නිෂ්පාදිත එකක් වන අතර, මේ සමඟ ශ්රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා ප්රමාණය 23 දක්වා ඉහළ යනවා.
පුළුල් බද සහිත මෙම ගුවන් යානය තුළ ව්යාපාරික පංතියේ ආසන 22ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240ක් පවතිනවා.
මෙම නව ගුවන් යානය අද (17) අලුයම 12.36 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 563 ගුවන් ගමන් අංකය යටතේ ප්රංශයේ පැරිස් නුවර බලා පියාසර කර තිබෙනවා.
ශ්රී ලන්කන් ගුවන් සේවය මුහුණ දෙමින් සිටින ගුවන් ගමන් ප්රමාද වීම සහ අවලංගුවීම් වලට යම් මට්ටමක විසදුමක් මෙම නව ගුවන් යානය ශ්රී ලන්කන් ගුවන් යානා ඇණිය සමඟ එක්වීමෙන් ලැබෙනවා.













