විදුහල්පතිවරයෙකුට සහ ගුරුවරියකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කුලියාපිටිය පොලීසිය පවසනවා.
ඊයේ (11) දහවල් මෙම පහරදීම සිදුකර ඇති අතර, පහර කෑමට ලක් වූ බව කියන විදුහල්පතිවරයා සහ ගුරුවරිය ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කුලියාපිටිය වයඹ විශ්වාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ එම විද්‍යාලයේ ගුරුවරියක්.
එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකගේ බාප්පා සහ ඔහුගේ බිරිඳ කිසියම් හේතුවකට විදුහල්පතිවරයා හමුවීමට ඊයේ පාසලට පැමිණ තිබෙනවා.
ඔවුන් විදුහල්පති කාමරයේ සාකච්ඡා කරමින් සිටින අතර, සිසුවියගේ බාප්පා විසින් විදුහල්පතිවරයාට ආරක්ෂිත හිස් වැසුමකින් පහර දීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී එම ආරවුල බේරීමට මැදිහත් වූ පාසලේ ගුරුවරියකට ද එම පුද්ගලයා පහර දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ ගුරුවරිය කුලියාපිටිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ප්‍රතිකාර සඳහා රෝහල් ගතව තිබෙනවා.
සැකකරුවන් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර,කුලියාපිටිය පොලීසියට සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.













