රාජ්‍ය අංශය ව්‍යාපාර වලින් ඉවත්ව පෞද්ගලික අංශයට විවෘත කරනවා – ජනපති (ඡායාරූප)

ඩී.එස්. සේනානායක දර්ශනය අපි ඈත් කළ ද, එම දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඔහු මේ අදහස් පළකලේ දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක් වෙමින්.
එම සැමරුම ඊයේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වුණා.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කළ බව ජනාධිපතිවරයා පැවසුවා.

මෙරට දේශපාලනඥයින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදු වූ විනාශයට ගිය බවයි ඔහු පැවසුවේ.

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවත්, ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාර වලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ දැක්ම වුයේ ද නිදහස් ආර්ථිකයක් ඇති කිරීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා ව්‍යාපාර සිදුකළ යුත්තේ පෞද්ගලික අංශයෙන් බවත්, එයින් ලබා ගන්නා බදු ආදායමින් රට සංවර්ධනය කළයුතු බව එතුමාගේ දර්ශනය වූ බවත් කියා සිටියා.

හිටපු කථානායක කරු ජයසූරිය,හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

D S Senanayake 01
D S Senanayake 02
D S Senanayake 03
D S Senanayake 04
D S Senanayake 05
D S Senanayake 07