ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
2027 වසරේදී සමරනු ලබන ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරයට සමගාමීව අධ්‍යාපන, ඩිජිටල්කරණ සහ සංවර්ධන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වුණා.
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමට චීන රජයෙන් ලැබෙන සහාය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි. එම සහනය වසරින් වසර ලබාදෙන තාවකාලික ක්‍රමවේදයක් වෙනුවට, සෑම පාසල් වසරක් ආරම්භයේදීම නිසි වේලාවට නිල ඇඳුම් ලබාදීමට හැකි වන පරිදි වසර 3 සිට 5 දක්වා වන දීර්ඝකාලීන රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා.
අධ්‍යාපන ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස, චීන ආධාර යටතේ ක්‍රියාත්මක ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතියේ ප්‍රගතිය ද සමාලෝචනය කෙරුණු අතර මේ යටතේ දිවයින පුරා පිහිටි ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබාදීමට නියමිතයි.
අධ්‍යාපන ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා පත්කර ඇති ඩිජිටල් කාර්ය සාධක බලකාය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය විසින් තනාපතිවරයාව දැනුවත් කළා.
එම වැඩපිළිවෙල අගය කළ නව තනාපතිතුමන්, ඒ සඳහා චීන රජයේ පූර්ණ සහාය පළකළ අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සහ අදාළ කාර්ය සාධක බලකාය අතර වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට ද තීරණය වී තිබෙනවා.
චීන රජයේ ශිෂ්‍යත්ව ක්‍රමය සහ චීන තානාපති ශිෂ්‍යත්ව ක්‍රමය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන උසස් අධ්‍යාපන අවස්ථා මෙන්ම, ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලදී චීනය දැක්වූ සහයෝගය අග්‍රාමාත්‍යතුමියගේ පැසසුමට ලක් වූ අතර, ටිබෙට් සීමාසන්න ප්‍රදේශවල ඇති වූ නායයෑම් සහ ගංවතුර තත්ත්වයෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය සිය කණගාටුව පළ කළා.
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා දෙරට අතර සහයෝගීතාවයේ ඇති වැදගත්කම ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා.













