මිලියන 500ක වී වියළන යන්ත්‍ර රටපුරා සමූපකාරවලට බෙදාදීම ඇරඹේ

සමූපකාර සමිති වෙත වී වියළීමේ යන්ත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ පිළිබඳ සමූපකාර දැනුවත් කරන වැඩමුළුවක් අද (06) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්වෙන එම වැඩමුළුව සදහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ , වෙළෙඳ, වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා, සමූපකාර සංවර්ධන කොමසාරිස් හා සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තරණි කුමාරදාස මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

2025 වසරේ අයවැය පූර්ව සාකච්ඡාවලදී ගොවීන්ට වී සදහා නිසි මිලක් නොලැබෙන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රමුඛ එම අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා.

දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත රුපියල් මිලියන 500ක පිරිවැයකින් යුත් නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර (Paddy Dryers) 50ක් ලබා දෙන අතර එම යන්ත්‍ර මෙම මහ කන්නයේ සිටම ලැබෙන අස්වනු සදහා භාවිතයට ගත හැකි වන පරිදි පළාත් සමූපකාර කොමසාරිස්වරු හා එම ප්‍රතිලාභී සමූපකාරිකයන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේදී සිදු කෙරෙනවා.

එක් යන්ත්‍රයක් රුපියල් මිලියන 10ක් පමණ වටිනා මෙම නවීන තාක්ෂණික යන්ත්‍ර 50ක් මෙලෙස බෙදා දෙන අතර එම සෑම යන්ත්‍රයකටම දිනකට වී මෙට්‍රික් ටොන් 20ක පමණ ප්‍රමාණයක් වී වේලීමේ ධාරිතාවක් පවතිනවා.

පෙර පැවති දේශපාලන හිතවත්කම් මත ප්‍රතිපාදන ලබාදීමේ ක්‍රමය සම්පූරණයෙන්ම වෙනස් කරමින් වඩාත් සක්‍රීය සහ ස්ථාවර මට්ටමක පවතින සමුපකාර සමිති වෙත නිසි ව්‍යාපෘති වාර්තාවක් (Project Proposal) ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම යන්ත්‍ර ලබා දීමට කටයුතු කර ඇත්තේ.

මෙම වී වේලන යන්ත්‍ර (Paddy Dryers) ලබාදීම හරහා වැසි සහිත කාලගුණ තත්ත්වයන් පවතින අවස්ථා වලදී වී වේලීමට නොහැකි වීම නිසා ගොවීන් මුහුණ දෙන අපහසුතා මඟහැරවීම සහ මහා මාර්ග දෙපස අවදානම් සහගත ලෙස වී වේලීම වැළැක්වීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම ගොවීන්ට තමන්ගේ අස්වැන්න අතරමැදියන්ගෙන් තොරව, වඩාත් හොඳ මිලකට සමුපකාර සමිති වෙත සෘජුවම අලෙවි කිරීමට අවස්ථාව ද මෙමඟින් සැලසෙනවා.

දේශපාලන බලපෑම්වලින් තොරව, නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රීය කරමින් සමුපකාර ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් මට්ටමකට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල වන අතර එමඟින් නිෂ්පාදන ආර්ථිකයක් කරා සමූපකාර මෙහෙයවීම ද එහි අරමුණයි.