සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි 13 අධික දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාමෙන් අල්ලස් පනත යටතේ වරදවල් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (12) නියෝග කළේය.
එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරුවරයා සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කළා.
ඊයේ දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට නඩු විභාගයට පෙනී සිටීමට අපහසු බව දැනුම් දුන්නා.
ඒ අනුව එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වන දින දක්වා කල් තැබීමට නියම කළා.
2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.















