මිලියන 110කට ආසන්න කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශ ජාතිකයෙක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

මෙම ස්පාඤ්ඤ ජාතිකයා පසුගිය 22 වනදා සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR654 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණා.

එහෙත් ඔහුගේ ගමන් මල්ල එම ගුවන් යානයෙන් රැගෙන පැමිණ නොතිබුණු අතර, ඊයේ (22) දිනයේ පස්වරුවේ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබු බවයි වාර්තා වන්නේ.

එම ගමන් මල්ල ලබා ගැනීම සදහා මෙම ස්පාඤ්ඤ ජාතිකයා ඊයේ (24) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එය රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගමන් මල්ල තුළ, විශේෂයෙන් සකස් කර තිබූ සහතික පත් රැගෙන යාමට සූදානම් කර ඇති ” ෆයිල් ” කවර දෙකක් තුළ , සූක්ෂම ලෙස සඟවා මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 200ක ප්‍රමාණය අසුරා රැගෙනවිත් තිබුණා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.