මිතුරන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය මෝටර් රථයක ගැටිලා – 21 හැවිරිදි තරුණයෙක් මරුට

කළුතර උතුර පොලිස් වසමේ, නාගස්හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස්, පසුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර, සමගිපුර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි ජනිත් හර්ෂන නැමැති 21 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා යතුරුපැදියෙන්, ඔහුගේ මිතුරෙකු සමඟ පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර, නාගස්හන්දිය ප්‍රදේශයේ දී දකුණු පසින් ඇති මාවතකට හැරවීමට උත්සාහ කිරීමේ දී ඊට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.