මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු ඉදිරියේ අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුනා.
මාලදිවයින් – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍යය, ක්‍රීඩා, සංචාරක,අධ්‍යාපන, සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර තුළ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදුවුණා.
එලෙස හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම්,
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින් ජනරජය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් හුවමාරු කර ගනු ලැබුවා.
2. ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ලේඛනාගාරය අතර ලේඛනාගාර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් හුවමාරු කර ගනු ලැබුවා.
3. මාලදිවයින් ජනරජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගුරුවරුන් සහ පාසල් නායකයින් පුහුණු කිරීම සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳ අවබෝධතා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් හුවමාරු කර ගනු ලැබුවා.
4. මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් හුවමාරු කර ගනු ලැබුවා.
5. ආරක්ෂක අංශ සහයෝගීතාව සඳහා මාලදිවයින් ජනරජයේ ජාතික ත්‍රස්තවාදී මර්දන මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා විසින් හුවමාරු කර ගනු ලැබුවා.
6. මාලදිවයින් ජනරජයේ ආරක්ෂක සහ ජාතික සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් හුවමාරු කර ගනු ලැබුවා.
7. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොළඹ විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ සෞඛ්‍ය, පවුල් සහ සුබසාධන අමාත්‍යාංශය අතර අධ්‍යයන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක විසින් හුවමාරු කර ගනු ලැබුවා.
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා තවදුරටත් තර කර ගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීමත් මෙම නිල සංචාරයේ අරමුණු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනය පරිදි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මෙරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටිනවා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරු, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු මාලදිවයින් දූත පිරිස මෙම අවස්ථාවට සහභාගී වුණා.













