දිවුලපිටිය ,මරදගහමුල – හපුවලාන මාර්ගයේ මෙට්ට ගෙදර හන්දියේදි මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු කඩුවකින් කපා ඝාතනය කර ඇති බව දිවුලපිටිය පොලිසිය පවසනවා.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (27) කරුණු වාර්තා කරමින් පොලිසිය පැවසුවේ මිනුවන්ගොඩ ,වටිනාපහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ.එම් සංදික ප්‍රනාන්දු නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකුව මෙසේ ඝාතනය කර ඇති බවයි.
මරණකරු තවත් දෙදෙනෙකු සමඟ ඉකුත් 25 වෙනිදා රාත්‍රී මරදගහමුල නගරයේ පිහිටි අවන්හලකින් මධුවිත පානය කර
මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මග හරස් කර මෝටර් රථය නවතා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
එම අවස්ථාවේ බියට පත් මරණකරු මෝටර් රථයේ දොරගුලු ලා ගෙන ඇති බවත් යතුරුපැදියේ පැමිණි මැරයන් එම අවස්ථාවේ මෝටර් රථයේ දොරගුලු කැඩීමට සූදානම් වී ඇති බවත් මරණකරු මෝටර් රථයේ දොර විවෘත කර බිමට බැසීමට සූදානම් වන අවස්ථාවේ එක් සැකකරුවෙකු මරණකරුගේ හිසට කඩු පහරක් එල්ල කර ඇති බවත් පොලිසිය පැවසුවා.
එම කඩු පහරින් තුවාල ලැබූ මරණකරු මෝටර් රථය පදවාගෙන නිවස කරා ගොස් ඇති අතර බරපතළ තුවාල ලබා සිටි ඔහු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන අතරතුර අද (27) මියගොස් තිබෙනවා.
මෝටර් රථයේ ගමන් කළ අයකු මරදගහමුල නගරයේ දී ඇති කරගත් ආරවුලකින් පසු සැකකරුවන් දෙදෙනා කඩුවක් සහ යකඩ පොල්ලක් රැගෙන යතුරුපැදියකින් මෝටර් රථය පසු පස හඹා විත් මෙම පහරදීම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.










