කැනඩාව තුළ නීතියට පටහැනි චීන සංවිධාන 575ක් ඇති බවට හෙළිදරව්වක්

චීනය විසින් ලොව පුරා පවත්වාගෙන යන බවට සැක කෙරෙන විදේශීය පොලිස් මධ්‍යස්ථාන ජාලය පුළුල් කර ඇති බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් අනාවරණයක් සිදුකර තිබෙනවා.

ස්පාඤ්ඤය පදනම් කරගත් Safeguard Defenders සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, රටවල් 91ක පිහිටි චීන ප්‍රජා සංවිධාන 1,250කට ආසන්න සංඛ්‍යාවක්, සැකකටයුතු පොලිස් මධ්‍යස්ථාන සඳහා ආවරණයක් ලෙස ක්‍රියාකරන බවයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, විදේශගත චීන ජාතිකයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සහ ඔවුන් පාලනය කිරීම සඳහා මෙම ජාලය භාවිත වන බවයි.

Safeguard Defenders වාර්තාවට අනුව, කැනඩාව තුළ අවම වශයෙන් චීන ප්‍රජා සංවිධාන 18ක් පොලිස් නිරීක්ෂණ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාකරන බවට සැක කෙරෙනවා.

මේ අතර, වාර්තාව උපුටා දක්වන අමෙරිකානු Jamestown පර්යේෂණ ආයතනය සිදුකළ වෙනම අධ්‍යයනයකින් කැනඩාව තුළ චීන සංවිධාන 575ක් හඳුනාගෙන තිබෙනවා.

කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීනි ජෙනී ක්වාන් පවසන්නේ, මෙම චෝදනා සත්‍ය නම්, එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති පියවර ප්‍රමාණවත් වී නොමැති බව එයින් පැහැදිලි වන බවයි.

ඒ සම්බන්ධයෙන් කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත විවෘත ලිපියක් යොමු කර ඇති ඇය, මෙම ක්‍රියාකාරකම් විමර්ශනය කරමින් නීතිමය හිඩැස් වසා දැමිය යුතු බව අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී අනන්දසංගරී පවසන්නේ, මෙම චෝදනා මෙතෙක් විමර්ශනය කර තහවුරු කර නොමැති බවයි.