උපන්දින සාදයකට සහභාගි වී නැවත නිවස කරා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඔවුන් සතුව තිබූ මුදල් සහ යතුරුපැදියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 26 වනදා මිල්ලනිය, ගොරකාතුඩුව ප්රදේශයේ දී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මිල්ලනිය පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොල්ලකෑමට යොදාගත් මන්න පිහිය සහ සොරාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ.
සැකකරුවන්ගෙන් පහර කෑමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 සහ 39 යන වයස්වල පසුවන පරගස්තොට ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
සැකකරුවන් හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.













