මං මිදුලට බහිනකොට ගේ ඉස්සරහා තිබුණු ලොකු පොල් ගස් හතරක් එකම විදියට කඩාවැටිලා තිබුණා

‘යකෙක් බැඳගත්තා වගේ වැඩ ගන්නවා’. මේ කියමන එදා මෙදාතුර කාලයේ අප අතර සුලබව ඇසෙන කතාවකි. කතාවේ හැටියට නම් යකෙක් බැඳගත් පසු අසීමිතව වැඩගත හැකි බවක් දැනෙන හෙයින් එලෙස බැඳගෙන වැඩගත් යක්කුන්ගෙන් සීමාවක් නොමැතිව ඕනෑම වැඩක් කරවාගත් බවද සිතිය හැකිය. එලෙස යකුන් බැඳ වැඩගැනීමට නිකම්ම නිකම් සෑම කෙනකුටම හැකියාවක් නැත. ඊට දියුණු මන්ත්‍ර ශාස්ත්‍ර දැන සිටිය යුතුය. එලෙස මන්ත්‍ර ශාස්ත්‍ර දත් අය අතීතයේ යකුන් බැඳ වැඩගත් දක්ෂ ගුරුන් ගැන බොහෝ විස්මිත කතා පුවත් අප අනන්තවත් අසා ඇත. හැබැයි එවැනි දක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවන් සියැසින් දුටුවන් ඇත්තේ අතලොස්සකි. පසුගිය දිනෙක හදිසියේ හමුවූ අමුත්තකු හරි අපූරු පුවතක් අප සමග හෙළි කළේය. ඒ, යකුන් බැඳ වැඩගත් ගුරු පරම්පරාවන් සමග තමන් කුඩා කල සිටම කටයුතු කළ බවකි.
පුංචි අප්පු නමින් හැඳින්වූ ඔහු අප සමග සිය අත්දැකීම් පැවැසුවේ මෙලෙසිනි.

‘මගේ ගුරුන්නාන්සේ කිරිහාමි. ඒ ඇත්තා මාව එක්කාසු කරගෙන යනකොට මං පුංචි කොලුගැටයා. ඒ වංගියේ ඉඳලම ඉතින් මට ගුරුන්නාන්සෙලගෙ ගෙදර ඉන්නකොට ලැබිච්ච අත්දැකීම් මතකයි. ගුරුන්නාන්සෙගෙ ගෙදර නිතරම සෙනඟ පිරිලා හිටියා. දවසට විසිතිස් ගණනක් එනවා බෙහෙත් හේත් කරගන්ට. ඉතින් ඒ එන අයට සාත්තු සප්පායම් කරන්න හත්අට දෙනෙක්ම ගුරුන්නාන්සෙගෙ ගෙදර හිටියා. මාත් ඒ කාණ්ඩෙම කෙනෙක් වුණා. මමත් ඔය පොඩි පොඩි වැඩ කරනවා. මාත් හරි සතුටෙන් ඒවා කරලා දෙනවා. අපේ ගුරුන්නාන්සෙ හරි කරුණාවන්තයි. හැබැයි දක්ෂයා. ඕනෙ ගුරුකමක් දන්නවා. යන්තර මන්තර වතුර වගේ. ඒ කාලෙ අපේ ගුරුන්නාන්සේ රට වටේම යනවා. තොවිල් වැඩට, අනවින කොඩිවින වගේ වැඩවලට.

ඉතින් ඔය කාලේ මට ඇහිලා තියෙනවා ඒ ගිය තැන්වල අය කතාවෙනවා අපේ ගුරුන්නාන්සෙ යක්කුන්ගෙනුත් වැඩ ගන්න දක්ෂයා කියලා. මං ඒ කාලේ එච්චර එවුවා හිතුවෙ නෑ. කියන රාජකාරිය කොරගෙන හිටියා. මං එහෙට යද්දිත් එහෙ හත් අට දෙනෙක්ම හිටියා. ඒ හිටපු අයගෙන් කිහිප දෙනෙක් ගැන මට එතරම් පැහැදීමක් තිබුණෙ නෑ. කිසිම දෙයක් කතාවක් බහක් නැහැ. මුහුණ දිහා බලන්නෙත් අමුතුවට. මං උන්දැල දිහා ඇහැක් ඇරලා බලන්නත් බයයි. හැබැයි ඉතින් එහෙම කියලා කරදරයක් හිරිහැරයක් එහෙම නැහැ. සමගියෙන් තමන්ගෙ පාඩුවෙ ගුරුන්නාන්සෙ කියන වැඩ ටික කරගෙන හිටියා.

ඔය විදියට මම එහාට ගිහින් අවුරුදු හත අටක් යද්දි ආයෙත් වැඩට කියලා ඉලන්දාරියෙක් ආවා. කොහෙන් කොහොම ආවද දෙයියො තමයි දන්නේ. හොඳ හයි හත්තිය ඇති ඉලන්දාරියා. ගුරුන්නාන්සේ දුර පැත්තක තොවිලෙකට ගිහින් එද්දි තමයි එක්කරගෙන ආවේ. මේ හාදයට කරන්න බැරි දෙයක් නෑ. ගුරුන්නාන්සෙ කියන ඕනෙ බර වැඩක් කරනවා. ඒ කාලේ ගුරුන්නාන්සෙගෙ ගෙදර අලුතෙන් හැදුවා. ඒකට ඕන කරන ගල් සේරම මේ හාදයා කූළු ගෙඩියෙන් ගහලා කැඩුවා. වෙද ගෙදරට බෙහෙත් ගන්න ආපු අය මේ මනුස්සයගේ වැඩ දැක්කාම යකා වගේ වැඩ කියලා කියනවා මට ඇහිලා තියෙනවා. දවසක් එහෙම කියපු කෙනෙකුට ගුරුන්නාන්සෙ දොස් කිව්වා. ආ කාරිය නොකර හතර වටේ හොයනවාය කියලා. එදා නම් මටත් සැක හිතුණා ඇත්තටම ගුරුන්නාන්සේ යකෙක්වත් බැඳගෙන ආවාද කියලා.

ඔය අපේ ගුරුන්නාන්සෙගෙ අප්පොච්චිත් යක්කු බැඳගෙන වැඩ ගත්තා කියලා මං අහලා තියෙනවා. ඒ කාලේ ගුරුන්නාන්සෙගෙ අප්පොච්චි බැඳගෙන හිටිය යකෙක්ගෙ බන්ධනේ කැඩිලා ගුරුන්නාන්සෙගෙ තාත්තාව උස්සාන ගිහින් කැලෑවේ ගල් ගේක හිරකරලා දැම්මලු. ආයෙ අරින්න තියා හිතන්නවත් බැරි විදියට. ඉතින් උන්දෑ ගල් ගෙයිම මියැදුණා කියලා තමයි කතිකාව තිබුණේ. හැබැයි මං ඕවා හොයන්ට ගියේ නැහැ. එහෙම ඕවා ගැන විපරම් කරලා ගුරුන්නාන්සෙ දැනගත්තා නම් මට එහෙ විසුමක් වෙන්නෙ නෑ.

ඔය කාලෙ දවසක් මහ අමුතු සිද්ධියක් වුණා. ගුරුන්නාන්සේ ළඟ වැඩ කරපු අර කලින් කියපු හාදයාගෙ සිහි විකාරයක් හෝන්දු මාන්දු ගතියක් වගේ ආවා. එදා ගරුන්නාන්සෙත් ටිකක් කලබල වුණා. කොහොම හරි පහුවදා පාන්දර මං මිදුලට බහිනකොට ගේ ඉස්සරහා තිබුණු ලොකු පොල් ගස් හතරක් එකම විදියට කඩාවැටිලා තිබුණා. වැඩේ කියන්නේ කිසිම කෙනකුට සද්දෙවත් ඇහිලා තිබුණෙ නෑ. මට ඇහුණෙත් නෑ. එදා දවසේ අර හාදයා හොයද්දි මිනිහත් අතුරුදන් වෙලා තිබුණා. ගුරුන්නාන්සෙත් ටිකක් කලබල වුණා. කිහිප සැරයක්ම වෙද පොත් මන්තර පොත් තියෙන පෙට්ටිය ඇද ඇද මොනවද හොයනවත් දැක්කා. පස්සෙ මොකක්ද සාත්තුවක් කරලා ගෙදර හැමෝගෙම කරට නූල් එහෙමත් බැන්දා. මටත් නූලක් දැම්මා. ඒ කතාව එතැනින්ම යට ගියා. පස්සෙන් පහු දැනගත්තා ඒ හිටියෙත් බැඳගත්තු යකෙක්ය කියලා.

ඔහොම ඉඳලා අපේ ගුරුන්නාන්සෙ මියැදුණා. නෝනා තමයි ගුරුහරුකම් භාරගත්තේ. දරුවෝ ඒවා කරන්නට තරම් ලොකු නැහැ. පස්සේ අවුරුදු හත අටකින් මාත් එහෙන් එන්ට ආවා. ඊට පස්සේ ගියේ නැහැ. දැන් නම් එහෙ කවුරු කවුරු ඉන්නවද කියන්නවත් දන්නෙ නෑ…’

සත්‍ය කතාවකි
නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න.

සටහන – කුමාර රත්නායක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25