පුත්තලම – කල්අඩියේ පිහිටි විදුලිය බෙදාහැරීමේ ග්‍රීඩ් උප පොළට අනවසරයෙන් ඇතුළුවීමට ගිය පුද්ගලයෙකුට එම ස්ථානයේ ආරක්ෂක නිලධාරියා විසින් වෙඩි තබා තිබෙනවා.
පුත්තලම පොලීසිය පවසන්නේ අද (08) අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
කිසියම් අයෙකු ග්‍රීඩ් උප පොළට හොර රහසේ ඇතුළු වීමට උත්සාහ කළ බවත්, තමන් එම පුද්ගලයාට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබූ බවත් ආරක්ෂක නිලධාරියා පොලිසියට පවසා තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානයේ ලේ පැල්ලම් කීපයක් දක්නට ඇති බවත්, ඒ අනුව කිසියම් අයෙකුට වෙඩි වැදීම සිදුවී ඇති නමුත් එම පුද්ගලයා පලාගොස් ඇති බව පොලීසිය සැකපළ කරනවා.
වෙඩි වැදීමකින් තුවාල ලබා ඇති අයෙකු ප්‍රතිකාර ලබාගැනීම සඳහා පුත්තලම හෝ අවට රෝහලට ඇතුළත් වී නොමැති බවද පොලීසිය පවසනවා.
සිද්ධිය පිළිබඳව පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.










