දේවාලයේ නඩත්තු කටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් බැතිමතුන් විසින් පරිත්‍යාග කරන මුදල් කපු මහතුන්ගේ ආදායමක් බවට පත් වීම හේතුවෙන් මාස තුනක කාලයකදී රුහුණු මහා කතරගම දේවාලයට අහිමි වී තිබෙන ආදායම රුපියල් කෝටි 12ක් (ලක්ෂ 1,200) පමණ වන බවට අනාවරණය කරගෙන තිබේ.
විහාර දේවාලගම් පනතට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ කපු මහතුන් වෙත යම්කිසි දීමනාවක් හෝ වැටුපත් දීම සිදු විය යුතුව තිබෙන නමුත් දෛනිකව දේවාලයට හිමිවන ආදායම දිනය අවසානයේ කපුවන් තම නිවෙස් වෙත රැගෙන යන බවට විශ්වාසදායි ආරංචිමාර්ග සඳහන් කරයි.
දේවාලයේ කපු මහතුන් 15 දෙනකු සිටින අතර, එයින් එක් අයකු දියකපන කපු මහතකු වන අතර සෙසු පුද්ගලයන් අතුරින් සිවුදෙනකුම කපු මහතුන්ගේ පුත්තුය. මාස්පතා දේවාලයේ තේවාවන් භාරව කටයුතු කරනුයේ කපු මහතුන් 10 දෙනෙකි.
ඒ අනුව වසරේ එක් මසක් බැගින් එම කපු මහතුන් දස දෙනා මාස දහයක කාලයක් තේවා කරන අතර අවුරුදු මාසය සහ පෙරහර කරන මාසයේ තේවා සිදු කරනුයේ දේවාලයට වැඩිම ආදායමක් දෙන කපුමහතුන් විසිනි. සාමාන්‍යයෙන් බැතිමතුන්ගෙන් හිමිවන ආදායමින් සියයට 50ක මුදලක් හෝ දේවාලයේ නඩත්තු කටයුතු, සේවක වැටුප් ගෙවීම්, සංවර්ධන කටයුතු ආදිය වෙනුවෙන් දිය යුතුව තිබෙන නමුත් ඔවුන්ගෙන් කිසිදු මුදලක් දේවාලයට ලැබී නැත.
මුදල්, රත්රන් ආදිය විහාර දේවාලගම් පනතට අනුව දේවාලයට දිය යුතුව තිබේ. එහෙත් ඒවාද කපුවන් විසින් රැගෙන යන බවද වාර්තා වේ. පසුගිය පෙරහර මාසයේදී දේවාලය වෙත රුපියල් ලක්ෂ 200ක මුදලක් දෙන බවට එක්තරා කපු මහතකු පැවසූ පසුබිමක වෙනත් කපු මහතකු බලෙන් දේවාලයේ යතුර රැගෙන යෑම හේතුවෙන් එම රුපියල් ලක්ෂ 200 මුදලද දේවාලයට අහිමි වී ඇත.
යතුර රැගෙන ගිය කපු මහතාද කිසිඳු මුදලක් ලබා දී නොමැත. මේ සම්බන්ධයෙන් දිණමිණ කළ විමසීමකදී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසුවේ පූජා වට්ටියේ තබා හෝ පින් සිතින් දේවාලයේ අභිවෘද්ධිය උදෙසා බැතිමතුන් තම මුදල් පරිත්‍යාග කරන නමුත් එම මුදල් දේවාලයේ අරමුදලට නොදී කපු මහතුන් විසින් තම නිවෙස් වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් විය යුතු බවයි.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තමා විසින් තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට සහ කතරගම පොලිසියට පැමිණිලි කර තිබෙන බව පැවසූ බස්නායක නිලමේවරයා ඊට අමතරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාද දැනුම්වත් කර තිබෙන බවද පැවසීය.
උපුටා ගැනීමකි.
දිනමිණ පුවත්පතෙන්