Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිවයින පුරා ප්‍රධාන නගර කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පහතට

දිවයින පුරා ප්‍රධාන නගර කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අද (19) දිනයේ නැවතත් පහත වැටී තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද උදෑසන නිකුත් කරන ලද දත්තවලට අනුව, වායු තත්ත්ව දර්ශකයේ (AQI) අගය 166ක් ලෙස සටහන් කරමින්, දරුණුතම වායු තත්ත්වයක් පවතින නගරය ලෙස යාපනය හඳුනාගෙන තිබෙනවා

මෙම මට්ටම සෞඛ්‍යයට අහිතකර බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙනවා.

කොළඹ, හලාවත, අනුරාධපුරය, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චිය යන නගරවල ද අද (19) දිනයේ වාතයේ ගුණාත්මකභාවය පහත වැටී තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් මුඛ ආවරණ පළඳින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස් ලබා දී තිබෙනවා.

බෙංගාල බොක්කේ නිර්මාණය වූ පීඩන අවපාතයක් හේතුවෙන් හටගත් ප්‍රබල සුළං ධාරා, යාපනයේ වාතයේ ගුණාත්මකභාවය පහත වැටීමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

වායු තත්ත්ව දර්ශකයේ අගය 100ත් 150ත් අතර පවතී නම් එය ‘මධ්‍යස්ථව අහිතකර’ (moderately unhealthy) මට්ටමක් ලෙසත්, 150ත් 200ත් අතර අගයක් ගනී නම් එය ‘අහිතකර’ (unhealthy) මට්ටමක් ලෙසත් වර්ගීකරණය කෙරෙනවා.