Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සිර දඬුවම් විඳින ඉම්රාන් ඛාන්ට ජීවිත අවදානමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට ලිපියකුත් ලියලා

සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බව පවසමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුළු අධිකරණවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

නොවැම්බර් 16 වැනිදා නිකුත් කළ විවෘත ලිපියකින් 74 හැවිරිදි ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, තම රුධිර පීඩනය ඉහළ යාම හේතුවෙන් මොළයේ රුධිර වහනයක් හෝ හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇති බවයි.

පසුගිය නොවැම්බර් 10 වැනිදා තම රුධිර පීඩනය 192 සහ 193 දක්වා ඉහළ ගිය බවත්, හෘදයට දැනටමත් හානි සිදුව ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

තවද, 2025 දෙසැම්බර් මාසයේ සිට දිනකට පැය 22ක් දක්වා හුදකලාව රඳවා තබා ඇති බවත්, පවුලේ සාමාජිකයන්, නීතිඥයන් සහ පොත්පත් වෙත ප්‍රවේශය දැඩි ලෙස සීමා කර ඇති බවත් ඔහු චෝදනා කරනවා.

තම දකුණු ඇසේ පෙනීමෙන් සියයට 85ක් අහිමි වී ඇති බව ද ඉම්රාන් ඛාන් පවසා තිබේ. ඔහුගේ බිරිඳ බුෂ්රා බිබීගේ ඇසේ ශල්‍යකර්මයකින් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් ඇයට ද සදාකාලිකව පෙනීම අහිමි වීමේ අවදානමක් පවතින බව ලිපියේ සඳහන්.

පසුගිය අගෝස්තු 18 වැනිදා ඉම්රාන් ඛාන් විශේෂ වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහලකට යොමු කරන ලෙසත්, පවුලේ සාමාජිකයන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනීමට අවසර දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව ඔහු පවසයි. එහෙත් එම නියෝග ක්‍රියාත්මක කර නොමැති බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

කෙසේ වෙතත්, පාකිස්ථාන රජය වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

රජයේ අමාත්‍යවරයෙකු සඳහන් කර ඇත්තේ ඉම්රාන් ඛාන් අවස්ථා අටකදී වෛද්‍ය පරීක්ෂණවලට ලක්කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ රුධිර පීඩන මට්ටම සාමාන්‍ය බවයි.

2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු කිහිපයක් පවතින අතර, ඒවා දේශපාලන අරමුණු මත පවරා ඇති බව ඔහු සහ ඔහුගේ පක්ෂය වන පාකිස්ථාන තරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය චෝදනා කරනවා.