Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉන්දියාව ඇතුළු ප්‍රබල රටවල් 10ක් AI වෙනුවෙන් ගිවිසුමකට

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අදාළ සැපයුම් ජාල, යටිතල පහසුකම් සහ තීරණාත්මක තාක්ෂණික දැනුම ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 10ක් නව ප්‍රකාශනයකට අත්සන් තබා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානත්වයෙන් සකස් කළ මෙම ගිවිසුම නොවැම්බර් 15 වැනිදා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී අත්සන් තැබුණා.

ඒ සඳහා ඇමරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව, කටාර්, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් රාජධානිය එක්ව සිටිනවා.

“සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රකාශනය” ලෙස නම් කර ඇති මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ අර්ධ සන්නායක, දුර්ලභ ඛනිජ, උසස් නිෂ්පාදන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධියට අදාළ සැපයුම් ජාල ආරක්ෂා කිරීමයි.

මෙම තාක්ෂණික දැනුම සහ නිෂ්පාදන ක්‍රියාවලීන් සොරකම් කිරීම හෝ නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශ්ව අතට පත්වීම රටවල ආර්ථික හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට එම රටවල් අවධානය යොමු කර තිබෙනවා.

වරාය, ප්‍රවාහන ජාල, සන්නිවේදන පද්ධති, බලශක්ති පහසුකම් සහ ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද එම ප්‍රකාශනයෙන් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, තීරණාත්මක අමුද්‍රව්‍ය සඳහා සීමිත රටවල් කිහිපයක් මත පවතින යැපීම අඩු කරමින් සැපයුම් මාර්ග විවිධාංගීකරණය කිරීමට ද එකඟතාව පළ කර තිබෙනවා.

මෙම එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා රටවල් අතර කණ්ඩායම් පිහිටුවීමට ද නියමිතය. කෘත්‍රිම බුද්ධිය ආරක්ෂිතව භාවිත කිරීම සහ තාක්ෂණික සැපයුම් ජාලවල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම ද එහි ප්‍රමුඛ කාර්යයන් අතරට අයත්.

මෙම ගිවිසුම ඇමරිකාව ප්‍රමුඛ “Pax Silica” වැඩසටහනේ කොටසක් වන අතර, එමගින් තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරෙනවා.