Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බංග්ලාදේශයට එන්නැයි ජනපති අනුරට නිල ආරාධනයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස, එරට අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිදු කරන ලද නිල ආරාධනය, බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir විසින් අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ව්‍යාපාරික, සංස්කෘතික සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ඇතුළු සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉහළ පැහැදීමකින් පසුවන බවත්, එම වැඩපිළිවෙළෙහි ආදර්ශය බංග්ලාදේශයටද වැදගත් වනු ඇති බවත් බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කර ගනිමින්, ඇඟලුම්, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කර, දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ සහයෝගිතාව මත පදනම්ව ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට, ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී විශ්වාසය පළ කළා.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නියුතු දේශීය සමාගම්වලට, බංග්ලාදේශයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ ප්‍රවර්ධනයට දායක වීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Salahuddin Mahmud, බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් Shah Asif Rahman සහ එම අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ සහකාර ලේකම් Rafid Mahbub Ahmad ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.