දිය නෑමට ගිය පාසල් සිසුවා රෝහලේදී මියයයි

මිතුරන් කීප දෙනෙකු සමග වැවක දිය නාමින් සිටියදී අනතුරට පත්ව ඇති පාසල් සිසුවෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ ගල්ගමුව – රබොට්ටුකුලම පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ හෂාන් තිවංක (16) නම් වූ දරුවෙකි.

එම දරුවා ප්‍රදේශයේ පාසලක 11 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇති අතර මිය ගොස් ඇති දරුවා සහ තවත් දරුවන් කීප දෙනෙකු 12 වෙනිදා සවස් කාලයේ ගල්ගමුව – රබොට්ටුකුලම ප්‍රදේශයේ පිහිටි මොට්ටපොත්තෑව නම් වැවේ දිය නෑමට ගොස් ඇත.පිරිස වැවේ දිය සොරොව්වේ සිට වැවට පනිමින් විනෝද වී තිබේ

දිය සොරොව්වේ සිට වැවට පැන ඇති හෂාන් තිංවක දරුවා හදිසියේම දියේ ගිලී අනතුරට පත්ව ඇත.මේ බව දැක ඇති එම ස්ථානයේ සිටි සෙසු දරුවන් ආධර ඉල්ලා කෑ ගසා ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි ගම්වාසීන් දියේ ගිලෙමින් සිටි දරුවාව ගොඩට ගෙන ප්‍රතිකාර සදහා ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.ප්‍රතිකාර කරමින් සිටින අතර තුර දරුවා මිය ගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.