‘මම විවාහ වුණේ 1995. මගේ බිරිඳ සහීනා. ඇගේ පදිංචිය ගල්කිස්ස. සහීනා මට මුණ ගැසුණේ 1990 දී. “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයේ පටන් ඇය මගේ රසිකාවියක්. අපි විවාහ වෙලා මහරගම නාවින්නේ පදිංචියට ආවා.
දෙවියන්ගේ පිහිටෙන් මම දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. පිරිම දරුවන් 4 දෙනයි බාලයා දියණියක්. මගේ ලොකු පුතාට වයස අවුරුදු 25යි. එයා විවාහ වෙලා. එයාට අවුරුදු 2 1/2 දරුවෙක් ඉන්නවා. ශෂි විජේන්ද්‍ර දැන් සීයා කෙනෙක්.
පදිංචිය
මාතලේ, ගාගොල්ල
දැන් ඔබ සිනමාවෙන් ඉවත් වෙලා. ව්‍යාපාර කටයුතුවල නිරත වෙනවාද?
ඔව්. මාතලේ පදිංචියට පැමිණියාට පස්සේ ඉඩම් මිල දී ගෙන මහෝගනී වැව්වා. පස්සේ ටයිල් සාප්පුවක් ඇරඹුවා. නමුත් කොරෝනා නිසා ටයිල් සාප්පුව වහන්න සිදු ුවණා. මගේ අනිකුත් ව්‍යාපාරවල නිරත වෙලා සිටිනවා.
ශෂි ගම්පොළ සහිරා විදුහලේ දඟකාර කොල්ලෙක් ද?
මම පාසලේ දී හැම ක්‍රීඩාවකටම සහභාගී වුණා. පාපන්දු, ක්‍රිකට්, හොකී, රගර්, මේ හැම ක්‍රීඩාවක්ම කළා. කැඩෙටින්, ස්ට්රේවව කළා. ඉගෙන ගන්නවාට වඩා කළේ බාහිර ක්‍රියාකාරකම්.
කලාවට දක්ෂ නැද්ද?
නැහැ. මම කලාවට සම්බන්ධ වුණේ නැහැ. මම ලැජ්ජාශිලි කෙනෙක්. නාට්‍ය කලා කටයුතුවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. බලෙන් ඇදලා දැම්මත් යන්නේ නැහැ. ඒත් මට සිද්ධ වුණා. අකමැත්තෙන් හෝ නාට්‍යකට පෙනී සිටීමට කැඩෙටිං වලට දියතලාවට ගිය වෙලාවේ හැමදෙනාටම එක් වී නාට්‍යයක් රඟපාන්නට තිබුණා. මම අකමැත්ත පළ කළ නිසා කට්ටිය මාව අලියාගේ හොඬවැලට පෙනී සිටින්නට තෝරා ගත්තා.
රඟපාන්න අකමැති පුද්ගලයා කොහොමද නළුවෙක් වුණේ?
පාසල් කාලය නිම වූ පසු මට යාළුවන් සමඟ චිත්‍රපට නරඹන්නට පටන් ගත්තා. අපේ තරුණ කාලේ විවිධ අදහස් හැඟීම් උද්දීපනය වනවා. 70 දශකයේ චිත්‍රපටවල ගාමිණි – විජය රඟපානවා දැක්කම මටත් ආසාවක් හිතුණා රඟපාන්නට. මේ ආකාරයටයි රඟපෑම් බීජය මා තුළ රෝපණය වුණේ. සමහර අධ්යක්ෂවරුන්, නළු නිළියන් මුණ ගැහිලා, චරිත ඉල්ලුවා කිසි කෙනෙකුගෙන් රඟපෑමට අනුබලයක් මට ලැබුණේ නැහැ. රඟපෑම ලෙහෙසි නැහැ කියා එක් පුද්ගලයෙක් මට තරයේ කියා සිටිමින් මගේ උත්සාහය අවතක්සේරු කළා. මම ඉවසගෙන හිටියා. අවසානයේ මගේ චිත්‍රපටයක ඔහුට රඟපාන්නට සිද්ධ වුණා.
චරිත ඉල්ලා ගියත් නොලැබුණු ශෂි විජේන්ද්රන්ට ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා චරිතය ලැබුණේ කොහොමද?
මම පාසලේ ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් මට සිංහල හොඳට ලිවීමේ දක්ෂතාවය තිබුණා. මම ඒ දවස්වල ලියපු කෙටි කතා පත්තරවල පළ වුණා. මම නවකතාවක් ලියුවා. මගේ යාළුවෝ කිව්වා චිත්‍රපටයක් රඟපාන්නට පෙර වේදිකා නාට්‍යයක් කළොත් ඒ නාට්‍යයේ මට ප්‍රධාන චරිතය රඟපාන්නට කියා මට ඒ දවස්වල වේදිකා නාට්‍ය බලලා නැහැ. යාළුවොත් එක්ක ගිහින් වේදිකා නාට්‍ය නරඹලා අදහසක් ගත්තා. මගේ ලිවීමේ හැකියාව තිබෙන නිසා නාට්‍යයේ පිටපත මමයි ලියුවේ. නාට්‍යයේ නම ‘සහජාත’ අධ්‍යක්ෂණය කළෙත් මම. ප්‍රධාන චරිතය රඟපෑමෙත් මම නිතර පුහුණුවීම්වල යෙදුණා. නාට්‍යයත් හා පුරා කියා වේදිකාගත වුණා. වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා ශාලාවේදී.
යහළුවෝ හිත මිතුරන්ගෙන් ලද ප්‍රතිචාර ඉහළයි. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ නවක නිළියක් එයා විවාහ වුණ නිසා රඟපෑමෙන් ඇත් වුණා. බොහෝ දෙනාගේ අදහස් වුණේ මේ චරිතයට ජනප්‍රිය නිළියක් තෝරා ගන්නා ලෙසය. ඒ කාලේ අනෝජා වීරසිංහ ජනප්‍රිය නිළියක්. ඇගේ ජනප්‍රියත්වය අතර නාට්‍යයට ජනප්‍රිය කර ගැනීමට අපි හිතුවා අනෝජා හමු වී ඇයට යෝජනාව ගෙනාවා අනෝජා කැමැති වෙලා අපට පුර්ණ සහයෝගය ලබා දුන්නා. ‘සහජාත’ ජනප්‍රිය වුණා. දර්ශන වාර 50ක් කොළඹ පමණක් නොවෙයි ලංකාව වටාම වේදිකාගත වුණා.
ඔබව සිනමාව රැගෙන ආවේ අනෝජා වීරසිංහ නේද?
ඔව් අනෝජා තමයි මාව සිනමාවට ගෙනාවේ. ‘සහජාත’ ජනප්‍රිය වෙද්දී මම අනෝජාට යෝජනාවක් ගෙනවා. අපි දෙදෙනා එකතු වෙලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට අනෝජා එයට කැමැත්ත පළ කළා. නමුත් මගේ අතේ මුදල් නැහැ. තාත්තා ඒ දවස්වල රැකියාව කළේ ඩුබායි වල මටත් ඩුබායිවල රැකියාවක් සොයා තාත්තාට මට කතා කළා. ඩුබායි එන්නට කොහේ ඩුබායි යන්නද? මට චිත්‍රපට පිස්සුව ගහලා චිත්‍රපටයක රඟපාන්න තිබූ ආසාව නිසාම මම හිතුවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලාම රඟපානවා කියා. චිත්‍රපටයට සල්ලි හොයන්න මම ඩුබායි ගියා. ඩුබායි අවුරුදු 2 රැකියාව කරලා ලංකාවට ඇවිත් අමෝජා සමඟ සම නිෂ්පාදනය කරමින් “ඔබට දිවුරා කියන්නම්” නිෂ්පාදනය කළා.
’ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයේ ඔබ හැර සෙසු රංගන ශිල්පීන් සියල්ලන්ම ප්‍රවීණයෝ. ඒ අය සමඟ ඔබ කොහොමද කරට කර රඟපෑවේ?
සිනමාවට ආධුනික මගෙන් චිත්‍රපටයට රංගනයට යම් කිසි සාර්ථකත්වයක් සිදු වුණා නම් එහි ගරුත්වය මා වටා සිටිමින් මා ධෛර්්‍යයමත් කළ සියලුම ප්‍රවීණයන්ට හිමි වෙනවා. විශේෂයෙන්ම අනෝජා වීරසිංහ සුනිල් සෝම පීරිස්, රෝයි ද සිල්වා ශ්‍රියානි අමරසේකර, සෝනියා දිසා ආදීන්ට මම හිස නමා ආචාර කරනවා. ඒ අයගෙන් මා ලද සහයෝගය උපරීමයි. චරිතයට අවතීර්ණ වීමේදී මා හට ලබාදුන් ගුරුහරුකම් වලට අදටත් මම ස්තූතිවන්ත වෙනවා.
ඔබ ආසාවට රඟ පෑ චිත්‍රපටයෙන් ඔබ එක රැයකින් තරුවක් බවට පත්වුණා. ඒ ගැන ඔබට මොකද හිතන්නේ?
චිත්‍රපටයේ මංගල දර්ශනයට මං ගිය අවස්ථාවේ මාව කවුරුවත් ගණන් ගත්තේ නැහැ. ප්‍රවීණ නළු නිළියන් පිරිවරා ගෙන ඔවුන්ට සුබ පතනවා. පින්තුර ගන්නවා. මම ළඟට කවුරුවත් එන්නේ නැහැ. මට ලැජ්ජා හිතුණා. මංගල දර්ශනයට පසු මට නැවත ඩුබායි ගිහින් ලංකාවට ආවේ දින 100 දර්ශනයට. 100 වෙනකොට සියල්ලම උඩු යටි කුරු වෙලා ඒ මොහොත මගේ ජීවිතයට අමතක වෙන්නේ නැහැ. සියලු ආදායම් වාර්තා අබිබවා ඔබට දිවුරා කියන්නම් ඉදිරියෙන්. සිනමා හල්වල චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයෝ පොදි කනවා. රසික රසිකාවියන්ගේ ලියුම් 1000 විතර ලැබෙනවා. මම මෙපමණ දෙයක් හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ. මේ චිත්‍රපටයෙන් පසු මට ප්‍රධාන චරිත ගලාගෙන එන්නට පටන් ගත්තා. මට අදහාගන්වත් බෑ.
ඔබ ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට ගැන කතා කළොත්?
ශක්තිය ඔබයි අම්මේ, මම ඒ චිත්‍රපටයේ ද්වීත්ව රංගනයක් ඉදිරිපත් කළා. මම ආදරය කරන නිළියක් වන මාලිනී ෆෝන්සේකා සමඟ මට රඟපෑමේදුර්ලභ අවස්ථාව හිමිවුණා. මාලනි සමඟ සහ දමයන්ති ෆොන්සේකා සමඟ ද්විත්ව රංගන ඉදිරිපත් කළා. ඔක්කොම රජවරු, රජ දරුවෝ, සිහින අහසේ වසන්තේ, ක්ෂිතිජ රේඛා, අඳුරු සෙවණැලි, අම්මේ ඔබ නිසා, සීතල ගිනි කඳු ආදී චිත්‍රපට 60 – 65 අතර මම රඟපෑවා. මම ලියපු නවකතාවක් ඇසුරින් එස්.බී.චන්ද්‍රන් තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කළ “ඔබට පමණයි ආදරේ” චිත්‍රපටයේ එය ප්‍රධාන චරිතය රඟපෑවා.
ඔබ මුස්ලිම් ජාතිකයෙක්. උප්පැන්නේ නම අවුෆ් හනීෆා කෙසේ ද ඔබ ශෂි විජේන්ද්‍ර වුණේ?
‘ඔබට දිවුරා කියන්නම්’ තිරගත වන විට සරසවිය පුවත්පතේ කර්තෘ ධුරය දැරුවේ ග්‍රැන්විල් සිල්වා දිනක් අනෝජා මාත් එක්ක ගියා සරසවිය පත්තරෙන් අපේ චිත්‍රපටයට ප්‍රචාරය ලබා ගැනීමට එහිදී තමයි ඔහු විසින් සිනමාවට ගැළපෙන නමක් ලෙස මට ශෂි විජේන්ද්‍ර නම යෝජනා කළේ.
ශෂි ඔබ. වාසනාවන්තයි. ඔබ හා පුරා කියා රඟපෑවේ අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ අනෝජා වීරසිංහ සමඟ නිළි රැජින මාලිනි ෆොන්සේකා ඇතුළු සිංහල සිනමාවේ ජනප්‍රිය දක්ෂ නිළියන් සමඟ ඔබ රඟ පා තිබෙනවා නේද?
ඔව්. අනෝජා, මාලිනී, වසන්ති, මැණික් ගෝතමී, දිල්හානි – ඩිලානි ආදී සියලුම ජනප්‍රිය තරු සමඟ මට රඟපාන්නට වාසනාව උදා වුණා.
එපමණක් නොවෙයි. එම් ආර්. ජෝතිපාලගේ සිංහල සිනමාවේ නළුවන් විශාල සංඛ්‍යාවකට පසුබිම් ගීත ගායනා කළත් ඔහුට සම්මානය ලැබුණේ මා වෙනුවෙන් ගැයූ පසුබිම් ගීතයටයි. එයින් මගේ ජීවිතයට ලැබුණේ අසීමිත සතුටක්.
ඔබ අවසන් වරට රඟපෑ චිත්‍රපටය?
1996 දී ශ්‍රී ලංකා පාකිස්තාන් සම නිෂ්පාදනයක් වන ‘මා’ නැමැති චිත්‍රපටයේ පාකිස්තාන් නිළියක සමඟ රඟපෑවා.
චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. ප්‍රධාන චරිතයක් රඟපලා. ඔබ ජනප්‍රිය වුණා. තවදුරටත් සිනමාවේ රංගන ශිල්පියකු ලෙස මෙන්ම නිෂ්පාදකවරයෙකු ලෙසත් ඔබට රැඳී සිටින්නට තිබුණ නේද? ඇයි සිනමාවෙන් සමුගත්තේ?
මට නිසි දේ නිසි කල නිසි වයසේ කළ කෙනෙක්. අවුරුදු 10කරන දේවල් 20 කරන්නත් බැහැ. 20 කරන දේවල් 30 කරන්නත් බැහැ. මම මගේ ජීවිතය පිළිබඳ මනා අවබෝධයෙන් ජීවත් වෙනවා. මුස්ලිම් ආගමට අනුකූලව චිත්‍රපටවල රඟපෑමට අවසරයක් නැහැ. ඒ බව මට හැඟුණ නිසා මම රඟපෑමෙන් ඉවත් වුණා. සිනමාවේ බොහෝ දෙනා රඟපැමෙන් ඉවත්ව නොයන ලෙස මට ඉල්ලීම් කළත් මම ගත් තීරණය මම වෙනස් කළේ නැහැ.
මුස්ලිම් ආගමට අනුකූලව රඟපෑමට අවසර නැති බව ඔබ පැවසුවා. මුස්ලිම් බැතිමතකු ලෙස රඟපෑම නුසුදුසු බව ඔබට කලින් වැටහුණේ නැද්ද?
තරුණ වයසේ සිත අකීකරුයි. ආශාවල් බොහෝමයි. හරි වැරදි තේරෙන්නේ නැහැ. රඟපෑමට තිබු ආශාව මේ සියල්ල අබිබවා ගියා. නමුත් අද මට සිටින්නේ තේරුම් පැහැදුම් ඇති වයසක. මේ සියල්ල නිසියාකාරයෙන් අවබෝධ වුවාව පසු ආගමානුකූලව ජීවත් වන්නට මට උත්සහා කරනවා. අදටත් මට මගේ ආශාවට මුල් නැහැ. මට අවශ්‍ය වුණා දරුවන් හරි මඟ යවන්නට නිසි මඟ කියා දෙන්නට. මම දරුවන්ට ආදර්ශයක් විය යුතුයි. ඒ නිසා මම තීරණය කළා රඟපෑමෙන් ඉවත් වෙලා ආගමික කටයුතු වලට යොමුවෙලා මගේ ඉදිරි ජිවිතය ගෙන යන්නට. මගේ බිරිඳත් කැමැති වුණා. රඟපෑමෙන් ඉවත් වෙනවාට. අද අපේ පවුල සැනසීමෙන් සතුටින් කල් ගෙවනවා.
මුස්ලිම් ආගමට එකඟව මට අද ජීවත් වන්නේ. හැකි පමණින් අනුන්ට උදව් උපකාර කරමින් මනුස්සකම පෙරදැරිව මම අද කටයුතු කරනවා. නිසි දේ නිසි වෙලාවට කළ යුතුය යන ප්‍රතිපත්තියේ මම අද ජීවත් වෙන්නේ.
මුස්ලිම් ආගමේ මවුලපී වරයෙක් ලෙස කටයුතු කරනවාද?
නැහැ. මට මුස්ලිම් දේවස්ථානයට සහ මුස්ලිම් ආගමට අතිශයින් සම්බන්ධ වී කටයුතු කරනවා. මවුලවීතුමා වන්නට තව වසර 6ක් මුස්ලිම් ධර්මය හැදැරිය යුතුයි.
මම මනුෂ්‍යත්වය ගරු කරන කෙනෙක්. ජාති-ආගම් කලබල මගේ ජීවිතයේ නැහැ. අපි හැමෝම ශ්‍රී ලාංකීක පුරවැසියෝ භේද බින්න නොවී අපි සැවොම එකමුතුව මේ ගමන යා යුතුයි. අපි සියලු දෙනාගේම දරුවන්ට ලස්සන රටක් අපි තිලිණ කළ යුතුයි. කුලල් කා ගැනීම්, භේද භින්න වීම්වලින් තොරව සාමකාමීව අපි ජීවත් වෙමු.
මගේ ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනය එයයි.
දීප්ති ෆොන්සේකා
සරසවිය