ජිවිත දෙකක් නැති කළ අයෙකුට මරණීය දණ්ඩනය නියම කරයි

වවුනියාව,සමනන්කුලම ප්‍රදේශයේදී 2009 ඔක්තෝම්බර් මස 16 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට ඊයේ(30) වවුනියාව මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කෙරිණ.

වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් සැකකරුට විරුද්ධව වන සාක්ෂි කැඳවීමෙන් අනතුරුව මරණීය දණ්ඩනය නියම කළහ.

සැකකරු වවුනියාව සමනන්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වි භාණ්ඩ සොරාගැනීම හා පුද්ගල ඝාතන දෙකක් සිදුකිරීම යන චෝදනා 11 ක් යටතේ වරදකරු කොට තිබිණ.දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනා 09 කට වසර 10 බැඟින් සිරදඩුවම්ද,චෝදනා දෙකක් වෙනුවෙන් මරණීය දඩුවම් නියෝග කිරීමද අධිකරණය සිදුකළහ.

වවුනියාව,මදවයිත්තිකුලම පදිංචි සෙල්වදුරෙයි තිලකේශ් නමැති එවක වයස අවුරුදු 24 ක් වු පුද්ගලයෙකුට එලෙස මරණීය දණ්ඩනය නියම කෙරිණ.වවුනියාව සමනන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වු රාමමූර්ලි පුලේන්ද්‍රන් හා වයස අවුරුදු 29 ක්වු තිරුනාවකරසු කිරුබාකරන් නමැති පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට සැකකරුට මරණීය දණ්ඩනය නියම කළහ.

සැකකරු හිටපු එල් ටි ටි සාමාජිකයෙකු වන අතර, සැකකරු යුධ හමුදාව සතුව පැවති ගිනි අවියක් පැහැරගෙන ගොස් මරණයන් සිදුකොට ඇති බවද පසුව ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන තිබිණ.

දේපළ කොල්ලකෑමට ගොස් ඇති අවස්ථාවක ඇති වු ගැටුමකදි සැකකරු අදාළ පුද්ගලයින්ට වෙඩි තබා ඇති බවද පරීක්ෂණයන්ගෙන් අනාවරණය කොටගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පරීක්ෂණ මෙහෙයවූහ.