ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය නඟාසිටුවීම අරමුණු කරගනිමින් ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ විශේෂ සහයෝගිතා ගිවිසුමකට එළඹීමට මේ වන විට කටයුතු සම්පාදනය කර තිබෙනවා.
මෙහි මූලික පියවරක් ලෙස ධීවර ක්ෂේත්රයේ ප්රධානතම ගැටලුවක් වන ‘පසු අස්වනු හානිය’ පිළිබඳ අවශ්යතා ඇගයීමක් (Needs Assessment) මේ වන විටත් සිදු කර අවසන්.
එම අවශ්යතා ඇගයීමේ ප්රතිඵල මත පදනම්ව, වෙරළබඩ (coastal) සහ ගැඹුරු මුහුදු (deep sea) ධීවර කර්මාන්තය තුළ “පසු අස්වනු සහ ශීත දාම සංවර්ධනය කිරීම” (Post-harvest and cold chain development) සම්බන්ධයෙන් ව්යාපෘති යෝජනාවලියක් (proposal) සකස් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සක්යතා අධ්යයනයක් සිදු කිරීම සඳහා ඊයේ (22) දින ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාසගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ තිබුණා.
ඒ අනුව, අදාළ දත්ත රැස්කිරීමේ සක්යතා අධ්යයනය එළඹෙන නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි 28 වැනිදා දක්වා මාස කිහිපයක් පුරා ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. දිවයින වටා පිහිටි වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කලාප නියෝජනය වන පරිදි තෝරාගත් ප්රදේශ කේන්ද්ර කරගනිමින් මෙම සමීක්ෂණය දියත් කෙරෙනෙවා.
මෙම මූලික සක්යතා අධ්යයනය මඟින් වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කටයුතුවලදී සිදුවන මත්ස්ය සම්පත අපතේ යාම සහ ඊට බලපාන හේතු නිවැරදිව තක්සේරු කරනු ඇත. අදාළ සක්යතා අධ්යයනය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, එමඟින් ලබාගන්නා දත්ත, අවසන් වාර්තා සහ නිර්දේශ මත පදනම්ව සීමිත අස්වැන්නකින් ඉහළ වටිනාකමක් නිර්මාණය කිරීමට අදාළව මෙම ප්රධාන ව්යාපෘතිය නිල වශයෙන් ක්රියාත්මක කිරීමට නියමිතයි.
ඒ හරහා ජපානයේ දියුණු තාක්ෂණික ක්රමවේද මෙරට ධීවර කර්මාන්තයට හඳුන්වා දීමේ අනාගත සැලසුම් ක්රියාවට නැංවීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය අපේක්ෂා කරනවා.
