ඇත්අතුරු සෙවණකට පොළොන්නරුවෙන් හෙක්ටයාර 15ක් වෙන් කරයි

අලි පැටවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා පොළොන්නරුව, කලාහගල ප්‍රදේශයේ නව ඇත්අතුරු සෙවණක් ස්ථාපිත කිරීමට තීරණය කරගෙන තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක සඳහන් කළේ, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුව මෙම ස්ථානය තෝරාගෙන ඇති බවයි.

ඒ අනුව, පොළොන්නරුව නගරයට ආසන්න කලාහගල ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු හෙක්ටයාර 15ක පමණ භූමි ප්‍රමාණයක් මේ සඳහා ලබාදීමට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එකඟතාව හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත අලි ගහනය 7,000කට ආසන්න වන අතර, ඉන් අලි ඇතුන් 1,300ක් පමණ පොළොන්නරුව කලාපයේ වාසය කරති. දැනට දිවයිනේ ක්‍රියාත්මක වන එකම ඇත්අතුරු සෙවණ උඩවලව ප්‍රදේශයේ පිහිටා ඇති බැවින්, පොළොන්නරුවේ සිට උඩවලව දක්වා අලි පැටවෙකු ප්‍රවාහනය කිරීමට පැය 7ත් 9ත් අතර කාලයක් ගත වනවා.

තුවාල ලැබූ අලි පැටවුන් මෙලෙස දීර්ඝ කාලයක් ප්‍රවාහනය කිරීම ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් ඇති කරන බැවින්, පොළොන්නරුවේ නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පැයක් හෝ දෙකක් ඇතුළත අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම වැඩපිළිවෙළේ විද්‍යාත්මක වැදගත්කම පැහැදිලි කරමින්, හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම අලි පර්යේෂකයෙකු ද වන ආචාර්ය සුමිත් පිළපිටිය පෙන්වා දෙන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාවේ අලි ගහනයේ ප්‍රධාන උපගහන (sub-populations) තුනක් හඳුනාගෙන ඇති බවයි.

ඒවා උතුරු හා උතුරු මැද, නැගෙනහිර සහ දකුණ යන කලාපවලට අයත්.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන එන අලි පැටවුන් උඩවලව ප්‍රදේශයේදී රැකබලාගෙන පසුව දකුණු කලාපයේ වනජීවී රක්ෂිතවලට මුදාහැරීමෙන් මෙම උපගහන අතර ස්වභාවිකව පවතින වෙන්වීම වෙනස් වීමේ හැකියාවක් පවතින බව ද ඒ පෙන්වා දෙනවා.

එබැවින්, පොළොන්නරුවේ නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් උතුරු හා උතුරු මැද කලාපවලින් රැගෙන එන අලි පැටවුන්ට ප්‍රතිකාර කර, පසුව එම කලාපවලට අයත් වනජීවී රක්ෂිතවලටම මුදාහැරීමට අවස්ථාව සැලසීම විද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මෙම නව ඇත්අතුරු සෙවණ ස්ථාපිත කිරීමත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට ද අවස්ථාව සැලසෙනු ඇත. එමෙන්ම, අලි පැටවුන් සඳහා අවශ්‍ය ආහාර සැපයීම ඇතුළු විවිධ සේවා සැපයීම හරහා ප්‍රදේශවාසීන්ට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාවනු ඇති බව ද දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.