ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් – CID මුල් පුටුවේ සිටි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුතුමාලත් ඒ අතර

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී. ගුණරත්න පොලිස් ශිෂ්‍යභට කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස සහ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණ කිරීම සඳහා පත්කර ඇති බව සඳහන්.

එමෙන්ම ගල්කිස්ස කොට්ඨාශ භාර නිලධාරී තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ඒ.ඊ. ප්‍රසන්න එම තනතුරේ සිට කැබිතිගොල්ලෑව කොට්ඨාශ භාර නිලධාරී ලෙස පත්කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ. ගුණසේකර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගල්කිස්ස කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල මහත්මිය, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධක්ෂ ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

එමෙන්ම පොලිස් අධිකාරි කේ.සී. ආරියවංශ ගම්පොල කොට්ඨාශයේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.