අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන් අනතුරුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද නියම වුණා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නිකුත් කළා.
ජයවර්ධනපුර රෝහලේ දී ශල්‍යකර්මවලට භාජනය වූ පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බවත්, ශල්‍යකර්මයන්ට භාජනය වූ රෝගීන් 300 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවත්, ඉන් 92 දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය අද අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළා.
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD (External Ventricular Drain) සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුළින් රෝගීන්ට පාඩුවක් කළ බවත් බාහිර පාර්ශ්වයන්ට අයුතු සහගත ලාභයක් උපයා ගැනීම මෙන් ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කර ඇති බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට පෙන්වා දුන්නා.
EVD අයිතම 2022 වර්ෂයේදී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500ක් බවත් එහි වත්මන් මිල 46,500ක් බව ද, අදාළ විශේෂඥ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශ්ව මගින් රෝගීන් එම අයිතම මිලට ගෙන ඇත්තේ රු. 120,000 සිට 250,000 දක්වා මුදලක් වැය කරමින් බව අනාවරණය වී ඇති බව ද අල්ලස් කොමිසම කරුණු දක්වමින් සඳහන් කළා.
එම ප්‍රකාශ සටහන් කර ගත් රෝගීන්ට රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් වී ඇති බව මෙන් ම ශල්‍යකර්මවලට භාජනය වූ සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බව ද විමර්ශනවල දී අනාවරණය වූ බව ද අල්ලස් කොමිසම සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඔහු නැවත අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ප්‍රතිකාර ලබමින් සිටියේ ද එම විශේෂඥ වෛද්‍යවරියගේ අධීක්ෂණය යටතේ බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට දිගට ම ප්‍රතිකාර කළ මෙම විශේෂඥ වෛද්‍යවරිය ඔහු සම්බන්ධව අසත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන බවට ද චෝදනා එල්ල වන බව ද අල්ලස් කොමිසම සඳහන් කළා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ශල්‍යකර්මවලට භාජනය වූ තවත් පුද්ගලයන් 200කගෙන් පමණ මෙම වෛද්‍යවරිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවත් විමර්ශන කටයුතු ද තවමත් සිදුවන බැවින් ඇප ලබා නොදෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකාර සහකාරවරයකු වන කැකුළන්දල ලියනගේ ඉන්දික සහ වෛද්‍යවරිය විසින් අනීතිකව පවත්වාගෙන යනු ලබන බව කියන පෞද්ගලික ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළා.
කොළඹ තරු පන්තියේ හෝටලයකදී කාන්තාවකට වීදුරු කටුවලින් ඇන තුවාල සිදු කිරීමේ චෝදනාවට විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න 2015 වසරේදී ද පොලිස් අත්අඩංගුවට පත් ව තිබෙනවා.
‘දූෂණය’ නම් වරද සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකාර සහකාරවරයකු වන කැකුළන්දල ලියනගේ ඉන්දික සහ වෛද්‍යවරිය විසින් අනීතිකව පවත්වා ගෙන යනු ලබන බව කියන පෞද්ගලික ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා ඉකුත් ජුනි 17 වැනි දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එදින අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.




