ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ගිං ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින වර්ෂාපතනයන් අනුව ඊයේ (20) වන දින නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නැවත ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කරන බවයි.

ඒ අනුව එම ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සහ ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් අවදානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර අද (21) උදෑසන වන විට කැළණි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, අනෙකුත් ගංගා ද්‍රෝණි බොහොමයකට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 50ත් 80ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පවසනවා.

පෙරේදා (19) දිනයේ මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, බද්දේගම, උඩුගම, අකුරැස්ස සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක අවදානම පවතින බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

කළු ගඟේ අතු ගංගාවක්වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට ආසන්නව පවතින අතර කැළණි ගඟේ හංවැල්ල, ලෙන්කෝස් සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජල මට්ටම් ද ඉහළ අගයක පවතින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් ද, අත්තනගලු ඔයේ ජල මට්ටම ද අඩුවෙමින් පැවතුණද, මෙම සියලු ගංගාවල ජල මට්ටම් තවදුරටත් අවදානම් මට්ටමට ආසන්නව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.