පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් පදික මාරුව අසල නවතා තිබූ යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටී ඊයේ (16) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් ත්රීරෝද රථයේ ගමන් කළ කාන්තාවකගේ අතෙහි සිටි කුඩා දැරියක් සහ දරුවෙකු බරපතළ තුවාල ලබා රිජ්වේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දැරිය මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම අදාළ දරුවන්ගේ මව, ත්රීරෝද රථයේ රියදුරු හා ත්රීරෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු ද මෙම අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් මියගිය දැරිය වයස මාස 03ක කැළණිය, පට්ටිය හන්දිය ප්රදේශයේ පදිංචිව සිටි දැරියක් බවයි වාර්තා වන්නේ.
පෑලියගොඩ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





