උණ්ඩයට බිලි වූ වීරකැටිය සචින්තගේ මව කියන සංවේදී කතාව

ලොව පුරා සිටින සමස්ත ලොකු කුඩා බාල මහලු දැනඋගත් ඇති නැති සියලූම දෙනාට ස්වභාවධර්මයා විසින් මිනිස් ගති යළි පුද්ගලයා තුළ වගා කරගැනීමට හොඳ අවස්ථාවක් උදාකර තිබියදී තවමත් මේ කිසිවකටත් අවනත නොවන නොමිනිස් ගති ඇති මිනිසුන් මේ සමාජයේ සිටින බව තව දුරටත් අපට පසක් වූයේ ඉකුත් 19 වන දින වීරකැටිය ගජනායකගම ප්‍රදේශයෙන් වාර්තා වූ අවාසනාවන්ත සිදුවීමත් සමගය.

වීරකැටිය ගජනායකගම පදිංචි මොහොට්ටිගේ තිලක් හා 14 හැවිරිදි සචින්ත නිම්සරගේ පියා එකම සහෝදරයින්ගේ දරුවන්ය. එකම ගමේ පදිංචි මේ පවුල් දෙක අතර කලක් තිස්සේ ඉඩමක් සම්බන්ධයෙන් යම් ආරවුලක් පැවතුණු අතර එය අළුයට ගිනි මෙන් නොනිවී පැවතුණි. දෙපිරිසම ළගම ඥාතීන් වුවත් මෙම ඉඩම් ආරවුල ලිහාගැනීමට නොහැකි වීම නිසා මොහොට්ටිගේ තිලක් පසු වූයේ දැඩි කෝපයෙනි. දිනය 2021.09.19ය. වේලාව රාත්‍රි 10ට ආසන්නය. මොහොට්ටිගේ තිලක් ඇතුළු පිරිසක් සචින්තගේ නිවසට පැමිණියේ අද දෙකෙත් එකක් බේරා ගන්නා අදහසිනි. තිලක් සමග මේ ගමනට තවත් පස් හය දෙනෙකු එකතු වීය. පයින් එන දුරකින් පිහිටි සචින්තගේ නිවස අසලට පැමිණි තිලක් සචින්තගේ තාත්තට හඩ දෙමින් බණින්නට විය. දෙපිරිස අතර වන මේ රණ්ඩුව ගම්මුන්ටද ඒ හැටි අමුත්තක් නොවීය. තිලක් ඇතුළු පිරිස පැමිණීමත් සමග සචින්තගේ පියාද නිකන් හිටියේ නැත. දෙපිරිස හොඳහැටියට කුණුහරුපෙන් බැණගනිද්දී 14 හැවිරිදි සචින්ත ඇතුළු නිවැසියන්ද නිවසින් එළියට බැස මේ කලකෝලාහලය මොනකරදරයක්දැයි සිතන්නට ඇත.

දෙපිරිස අතර වූ මේ බහින් බස් වීම විනාඩි 30කට ආසන්න කාලයක් පැවතුණු අතර කිසිවෙකුත් කිසිවෙකුට දෙවෙනි වන්නට සූදානම් නොවීය. වෙනදා රණ්ඩුවට පැමිණි තිලක් මෙදින රණ්ඩුවට ඇවිත් තිබුණේ නිකම්ම නොවේ. මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්ද තිලක් ඉනේ ගසාගෙන පැමිණ තිබුණි. ඒ අද දෙකෙන් එකක් බේරා ගත යුතු වූ නිසාය. බහින් බස්වීම දිගින් දිගටම යද්දී ඉවසුම් නොමැති වූ තිලක් ඉනේ ගසාගෙන සිටි ගල්කටස් වර්ගයේ ගිනිඅවිය එළියට ඇද තෝ අද මන් මෙතනම මරනවා කියාගෙන සචින්තගේ පියාට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. මාරාවේසෙන් වගේ නොසන්සුන්ව සිටි තිලක් තැබූ වෙඩි පහරින් බිම ඇද වැටුණේ ඒ ආසන්නයේ සිටි 14 හැවිරිදි සචින්තය. සිය ඉලක්කය වැරදීමත් සමග තිලක් ඇතුළු කණ්ඩායම වහා එම ස්ථානයෙන් පලා ගියේය. සචින්තගේ පියා හා මව ඇතුළු පිරිස එක්ව බිම ඇද වැටී සිටි සචින්ත වහා වීරකැටිය රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් සචින්ත මෙලොව හැරදා ගොස් තිබුණි.

පියාට තැබූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 14 හැවිරිදි සචින්ත නිම්සර හ/ගජනායකගම කණිෂ්ඨ විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. 19 දින රාත්‍රි 10.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවිය.

සිය පුතුගේ වියෝව දරාගත නොහැකි වූ සචින්තගේ මවගේ විලාපය අහල ගම් සියල්ලම හ`ඩවන්නට සමත්වීය. ”මගේ පුතාගේ උපන්දිනය දවසේ අපිට පුතාගේ මරණය දකින්න ලැබුනේ. පුතා මට කිව්වා අම්මේ හෙට මගේ උපන් දිනය. මට උපන්දිනය සමරන්න ඕනේ කියා පුතා මට කිවුවා. මං හා පුතේ මගේ පුතාගේ උපන්දිනය අපි හෙට සමරමු කියලා කිව්වා. මේකටද දෙයියනේ උපන්දිනය සමරමු කිව්වේ” යැයි කියමින් සචින්තගේ මව විලාප දෙන්නට වූයේ යන එන සියලූම දෙනාගේ නෙතට කඳුළක් එක් කරමිණි.

20 වන දින පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණි වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් එල්.බී. හේරසිංහ මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර සිරුර තංගල්ල මූලික රෝහලට රැගෙනගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත්වරයා වීරකැටිය පොලිසියට නියෝග කළේය.

මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව තොරතුරු අණාවරණය වීමත් සමග තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් අනුව වීරකැටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කැළුම් සංගීත් මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානයට ගොස් සිදුකළ මූලික විමර්ශන වලින් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු නිවෙස් තුළ සැඟව සිටියදී 20 දින අලූයම අත්අඩංගුවට ගැනුණිි. එහෙත් ඒ වන විටත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් එක් අයෙකු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනෙකු 20 දින පස්වරුවේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ඔක්තෝබර් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා නියම කළ අතර සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වීරකැටිය පොලීසියට නියම කෙරුණි.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා පොලිස් මෙහෙයුමක් දියත් කෙරුණු අතර එහිදී මොහොට්ටිගේ තිලක් නොහොත් සුද්දා සහ වීබදු මොහන්දිරම්ගේ ජීවසිරි නැමති දෙදෙනා ගෝනහේන ප්‍රදේශයේ තේක්ක කැළයක සැඟව සිටියදී 22 දින පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු වලට අනුව වෙඩි තැබීමට යොදාගත් ගල්කටස් වර්ගයේ ගිනිඅවියද පොලිස් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට පත් සැකකරුවන් 22 දින සවස වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ඔක්තෝබර් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා නියම කළේය.

සැකකරුවන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු නමුත් ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක්ද නොමැති වීය.

ලොව පුරා දරුණු වසංගතයක් පැතිරෙමින් මිනිසුන් තැන තැන මැරී වැටෙද්දී ඉන් බේරී ජිවත් විමට බොහෝ දෙනා මහන්සි ගනිමින් තිබේ. එවන් අවස්ථාවක හිත්පිත් නැතිව වනචාරී මිනිසුන් මෙන් එක පවුලේ එකම ඥාතීන් විසින් ඉඩම් කැබැල්ලකට ඇනකොටාගෙන වෙඩිතබාගෙන මරාගන්න තරම් මිනිස් ගතිගුණ පිරිහී ඇති බව නම් පැහැදිලිය. ස්වභාවධර්මය විසින් සමස්ත රට වැසියාටම මෙන්ම ලෝක වාසීන්ටද ජිවිතය පිළිබද යථාර්ථවත්ව සිතීමට කාලය උදා කර දී ඇතත් ඒ පිළිබඳව තඹේකට නොතකන මිනිසුන් තවමත් මේ සමාජයේ සිටීම කනගාටුවට කරුණකි.

සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, වීරකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කැළුම් සංගීත්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසුන්දර, උප පොලිස් පරීක්ෂක පේමරත්න, පොලිස් සැරයන් (25450) රාජරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (12677) දයාරත්න, ෂෙල්ටන්, (40643) චමින්ද, (70223) රසික,(26647) ලහිරු යන නිලධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

දිවයින 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38