2025 වර්ෂය සඳහා වන ඉන්දීය රජයේ අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින්.
මෙවර ඉන්දීය අයවැය තුළින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක මුදලක් වෙන්කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එලෙස වෙන්කර ඇති ඉන්දීය රුපියල් කෝටි 5,483ක මුදලෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර තිබීම ද විශේෂත්වයක්.
ඉන්දීය රජය විසින් පසුගිය වසර තුළ සිය අයවැය තුළින් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 245ක මුදලක් වෙන්කර තිබූ අතර, මෙවර එය රුපියල් කෝටි 55 කින් ඉහළ දමා තිබෙනවා.
ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර අයවැය තුළින් මෙලෙස වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කළ බවයි ඉන්දීය රජය සඳහන් කළේ.
මේ අතර ඉන්දීය අයවැය තුළින් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල වෙන්කර ඇත්තේ භූතානය වෙනුවෙන් වන අතර; එම මුදල ඉන්දීය රුපියල් කෝටි 2,150ක්.