ඉන්දියාවේ සේවා අංශයේ වර්ධනය ඔක්තෝබර් මාසයේදී මාස හතරකින් වාර්තා වූ ඉහළම අගයට ළඟා වී තිබෙනවා.
ඒ, දේශීය ඉල්ලුම ඉහළ යාමත් සමඟ නව ව්‍යාපාරික ඇණවුම් වර්ධනය වීම හේතුවෙන් බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර ඇණවුම් දුර්වල වීම හමුවේ නව සේවකයන් බඳවා ගැනීමේ වේගය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා.
එච්.එස්.බී.සී. බැංකුවේ ඉන්දියානු සේවා අංශයේ මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය හෙවත් පී.එම්.අයි. දර්ශකය සැප්තැම්බර් මාසයේ පැවති 55.2ක අගයේ සිට ඔක්තෝබර් මාසයේදී 55.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, එය මූලික ඇස්තමේන්තුව වූ 56.2ක අගයට වඩා පහළ මට්ටමක පවතිනවා.
මෙම දර්ශකයේ අගය 50ට වඩා ඉහළ පැවතීමෙන් පෙන්නුම් කරන්නේ අදාළ අංශයේ වර්ධනයක් සිදුවන බවයි.
ඉල්ලුම මැන බැලීමේ ප්‍රධාන දර්ශකයක් වන නව ව්‍යාපාරික ඇණවුම් ජුනි මාසයෙන් පසු වේගවත්ම වර්ධනය වාර්තා කර තිබෙනවා.
එම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ දේශීය වෙළෙඳපොළෙන් ලැබුණු ශක්තිමත් ඇණවුම් බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.
එහෙත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුම දුර්වල වී ඇති අතර, නව අපනයන ඇණවුම්වල වර්ධනය මාස 45කින් වාර්තා වූ මන්දගාමීතම වේගයට සමාන වී තිබෙනවා.
මේ අතර, සේවක බඳවා ගැනීම්ද පාහේ නතර වී ඇති අතර, එහි වර්ධන වේගය මාස 10කින් වාර්තා වූ අඩුම මට්ටමට පහත වැටී තිබෙනවා.
උද්ධමන පීඩනයේද යම් අඩුවීමක් දක්නට ලැබෙනවා.
සේවා සපයන සමාගම් පාරිභෝගිකයන්ගෙන් අය කරන මිල ගණන් ඉහළ නංවා ඇත්තේ මාස හතරකින් වාර්තා වූ අඩුම වේගයටයි.
නිෂ්පාදන හා සේවා සැපයුම් සඳහා වැයවන පිරිවැය ඉහළ යාමේ වේගයද වසර හයකට වැඩි කාලයකින් වාර්තා වූ අවම මට්ටමට පහත වැටී තිබෙනවා.
කෙසේ වෙතත්, විදුලිබලය, ශ්‍රමය, අමුද්‍රව්‍ය සහ ප්‍රවාහන වියදම් තවදුරටත් ඉහළ යමින් පවතින බව සමාගම් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, ව්‍යාපාරික විශ්වාසය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහත වැටී ඇති අතර, එය දිගුකාලීන සාමාන්‍ය මට්ටමටද වඩා අඩු අගයක පවතිනවා.
මේ අතර, නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකම සැලකිල්ලට ගන්නා සමස්ත සංයුක්ත පී.එම්.අයි. දර්ශකයද ඔක්තෝබර් මාසයේදී 56.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය සැප්තැම්බර් මාසයේ පැවති 55.9ක අගයට වඩා ඉහළ අගයක් වන අතර, මාස හතරකින් වාර්තා වූ ඉහළම මට්ටමද වනවා.
