ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් (APL) විස්සයි විස්ස තරගාවලිය සඳහා මුදල් යොදවන ආකාරය පිළිබඳව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වනවා.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය පසුගිය අඟහරුවාදා පැවැත්වුණු අතර, එහිදී එංගලන්ත ක්‍රීඩකයින් අට දෙනෙකුට ගිවිසුම් හිමි වුණා.
මෙම තරගාවලිය දෙසැම්බර් 27 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, තරගාවලිය සඳහා තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබී නොමැති අතර, අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතින බවයි වාර්තා වුණේ.
එමෙන්ම තරගාවලියට අදාළ කණ්ඩායම් පහෙන් තුනකට පමණක් හිමිකරුවන් තහවුරුකර තිබෙනවා.
මේ අතර ICC විසින් සිය අනුමැතිය ලබාදීමේ රෙගුලාසි සමාලෝචනය කිරීම සඳහා, මෙම වසර මුලදී ‘ෆ්‍රැන්චයිස් ලීග්’ පිළිබඳ නව උප කමිටුවක් පිහිටුවනු ලැබුවා.
එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ගෝල්ඩ් ද එහි සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර, ලබන වසරේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන ICC රැස්වීම්වලදී, මෙම ලීග් තරගාවලිය සඳහා මුදල් ලැබෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල නියමිත බව රිචඩ් ගෝල්ඩ් සඳහන් කරනවා.
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදු කරන පීඩාවන් හේතුවෙන්, එංගලන්තය, ඇෆ්ගනිස්ථානය සමඟ ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිවලට සහභාගී වන්නේ නැහැ.
මේ අතර APL තරගාවලියට ලියාපදිංචි වී සිටින එංගලන්ත ක්‍රීඩකයින් අට දෙනාට ‘බාධාවක් නොමැති බවට වන සහතික’ (NOCs) ලබා දීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අදහස් කරනවා.
ඊට හේතු වී ඇත්තේ එම ක්‍රීඩකයින් කිසිවෙකුත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ මධ්‍යම ගිවිසුම්වලට එළෙඹ නොසිටීමයි.
