මීට දින දෙකකට පෙර අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී අතුරුදන් වූ තරුණ මව සහ ඇයගේ කුඩා දියණියගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරනවා.
අඟුරුවාතොට, රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවක තිබී මෙම සිරුරු සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මීට දින දෙකකට පෙර සිට මෙලෙස අතුරුදන්ව සිටියේ 24 හැවිරිදි වාසනා කුමාරි සහ ඇයගේ මාස 11 වයසැති සිඟිති දියණියයි.
අතුරුදන් වූ කාන්තාවගේ සැමියා පසුගිය 18 වනදා රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ, තම බිරිඳ සහ මාස 11ක් වයසැති දියණිය අතුරුදන්ව ඇති බවට පැමිණිලි කර තිබෙනවා.
එම පැමිණිල්ලේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එදින පස්වරුවේ තම මස්සිනා ද නිවසට පැමිණ ඇති බවයි.
ඉන් අනතුරුවයි මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.















