හෙට සිට විශේෂ ඩෙංගු මර්ධන සතියක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක

හෙට (09) දිනයේ සිට ලබන 14 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

ඒ, අනුව ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානම සැලකිල්ලට ගෙන එම අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි මෙම විශේෂ ජාතික ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය, අනෙකුත් පාර්ශ්වකරුවන් වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහන් මේ යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සතිය තුළ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයන්හි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවෙකු නොමැති පරිශ්‍ර වල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ පවිත්‍ර කිරීම, පාසැල්, පිරිවෙන්, විශ්ව විද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් සංවිධාන කිරීම, මෙහෙයුම් මැදිරියක් මඟින් දෛනික කටයුතු අධීක්ෂණය ඇතුළු කාර්යයන් ඉටු කරනු ලබනවා.