සතුන්ට සිදුකරන කුරිරු ක්‍රියාවන්ට එරෙහිව නීතිය ශක්තිමත් කළ යුතුයි – අග්‍රමාත්‍යවරිය

සතුන්ට සිදුකරන කුරිරු ක්‍රියාවන්ට එරෙහිව නීතිමය ආරක්ෂාවන් ශක්තිමත් කිරීම, වගකීම් සහගතව සතුන් ඇති දැඩි කිරීම සහ අනතුරට හෝ පීඩාවට පත් වනජීවීන් වෙනුවෙන් ඵලදායී ලෙස මැදිහත් වීම තුළින් සත්ව සුබසාධනය සහ වනජීවී සංරක්ෂණය වැඩි දියුණු කළ හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී ඊයේ (30) පැවති ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීම සහ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

පශු වෛද්‍ය විද්‍යාව යනු සත්ව සෞඛ්‍ය සේවයෙන් ඔබ්බට ගොස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝග වැළැක්වීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ගොවීන්ට සහාය වීම සහ වනජීවී සංරක්ෂණය කිරීම වැනි අංශ ආවරණය කරමින් ජාතික සංවර්ධනයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියාකරන ක්ෂේත්‍රයක් බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ.

සත්ව සෞඛ්‍යය සුරැකීම සහ මිනිසුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමෙහිලා පශු වෛද්‍ය වෘත්තිකයන් ඉටු කරන්නේ අතිශය වැදගත් කාර්යභාරයක් බව සඳහන් කළ ඇය, ඔවුන්ගේ දායකත්වය මහජන සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපායන් සහ පාරිසරික තිරසාරභාවය කෙරෙහි සෘජුවම බලපෑමක් ඇති කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.