ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට රජය මර්දන අණ පනත් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක

වත්මන් රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබාගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන ජනතාවගේ නිදහස සීමා කරන කතා කිරීමේ අයිතිය, එකතුවීමේ අයිතිය, මතයක් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකරන අණ පනත් 02ක් මෙම රජය ගෙන ඒමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මැදිරිගිරිය, අඹගස්වැව කොට්ඨාසයේ, පහළ අඹගස්වැව, ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍රාරාමයේ සංවර්ධන කටයුතු සඳහා සිමෙන්ති කොට්ට සීයක් පිරිනැමීමේ අවස්ථාවට අද (31) දිනයේ එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යන මේ පනත් 02 තුළින් ජනතාව මර්දනය කිරීමට යන බවත්, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සිදුවිය යුතු වුවත් එම මාතෘකා යටතේ රජය ජනතාවගේ නිදහසට සීමා පනවන බවත් රැදවුම් නියෝග පැනවීමේ දී විශාල බලතල ලබාදීම ත්‍රස්තවාදය කුමක්ද කියා නිර්වචනය කිරීම පවා පුළුල් බවත් සංවිධානාත්මක අපරාධ පනත යටතේ කොන්ඩ මෝස්තරය, ඇඳුම් පැළදුම්, පච්ච කෙටීම තුළින් ද සංවිධානාත්මක අපරාධකරුවකුයැයි විග්‍රහ කිරීමේ ඉඩකඩ පවතින බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළා.

රජයට ජනතාව අතරට යාමට මේ වනවිට නොහැකි වීමත් ආණ්ඩුවේ නොහැකියාවත් නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසරණ වී ඇති බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.