LTL සමූහයට අනුබද්ධිත ලක්දනවි ලිමිටඩ් සමාගම 2026 ඔක්තෝබර් 15 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී පැවැත්වුණු 2026 ආසියානු බලශක්ති සම්මාන (Asian Power Awards) සහ ආසියානු ජල සම්මාන (Asian Water Awards) උළෙලේ දී සම්මාන 05ක් දිනාගැනීමට සමත් වුණා.
දේශීය ඉංජිනේරු කෞශල්යයන් සහ එහි විශිෂ්ටත්වය ආසියාවෙන් ලොවටම කියාපෑ මොහොතක් සනිටුහන් කරමින්, සමස්ත ශ්රී ලාංකිකයන් ලෙස අභිමානයක් දනවන මෙම ජයග්රහණය හරහා ආසියානු කලාපය පුරා බලශක්ති උත්පාදනය සහ ඉංජිනේරු ක්ෂේත්රයේ සමාගම සතු හැකියාවන් පැහැදිලිව තහවුරු වී තිබෙනවා.
මෙම සම්මාන අතුරින් හතරක්ම හිමිවූයේ මෙගාවොට් 300ක ධාරිතාවයෙන් යුත් යුගදනවි සංයුක්ත චක්රීය විදුලි බලාගාරය වෙත වන අතර, තවත් සම්මානයක් ලක්දනවි සමාගමට වෙත හිමි වුණා.
විදුලි බලාගාර සංවර්ධනය හා ක්රියාත්මක කිරීමේ සිට තාක්ෂණික නවෝත්පාදනය සහ වගකීම්සහගත සම්පත් කළමනාකරණය දක්වා විහිදෙන ශ්රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්රයට මෙයින් ආසියාව පුරා ඉහළ ඇගයීමක් හිමි වුණා.
ඒ අනුව වසරේ ස්වාධීන විදුලි නිෂ්පාදකයා (Independent Power Producer of the Year), වසරේ නවෝත්පාදන බලශක්ති තාක්ෂණය (Innovative Power Technology of the Year – HFO ඉන්ධන රත් කිරීමේ නවෝත්පාදනය වෙනුවෙන්), වසරේ ESG වැඩසටහන (ESG Program of the Year) , ජල තාක්ෂණික විශිෂ්ටතා සම්මානය – කාර්මික (Water Technology Excellence Award – Industrial) , වසරේ ජල ප්රතිභාවිත සහ ප්රතිචක්රීකරණ ව්යාපෘතිය (Water Reuse and Recycling Project of the Year) වෙනුවෙන් වන සම්මාන මෙලෙස හිමිකරගෙන තිබෙනවා.
මෙහිදී අනාවරණය කළ යුතු තවත් වැදගත් කාරණයක්ද ඇත.
ඒ පසුගියදා රට තුළ ඇති වූ දීපව්යාප්ත විදුලි බිඳවැටීමෙන් අනතුරුව ජාතික විදුලි පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමේදී ඇති වූ ප්රමාදයන් මුල් කරගනිමින් ඇතැම් පාර්ශව විසින් තාප බලාගාර වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන්.
එහිදී LTL සමූහයට අනුබද්ධ ලක්දනවි සමාගම යටතේ ක්රියාත්මක යුගදනවි සහ සහස්දනවි යන බලාගාර ඇතැම් පාර්ශව විසින් සෘජුව ඉලක්ක කර විදුලි බලය කඩිනමින් සැපයීමට නොහැකිවීම එකී බලාගාරවල, අකාර්යක්ෂම සහ අඩුපාඩුවක් ලෙස හුවා දක්වන්නට උත්සාහ ගෙන තිබුණා.
නමුත් ඒ පිළිබඳව අප කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, ඒවායේකිසිදු සත්යතාවක් නොමැති බවයි.
එකී චෝදනා පටු අරමුණු සහ පෞද්ගලික ලාභ අපේක්ෂා මත පදනම්ව එල්ල කර ඇති බවයි.
බලශක්ති ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අදහස අනුව, තාප විදුලි බලාගාර ක්රියාත්මක වන තාක්ෂණික පසුබිම පිළිබඳව බොහෝ දෙනෙකු දැනුවත් නොමැති වීම නිසා ජනතාව බොහෝ විට මෙවැනි අසත්ය චෝදනා ඉදිරියේ නොමඟයයි.
නමුත් ඔවුන් පැහැදිලි කරන ආකාරයට වාහනයක් මෙන් එකවර පණගන්වා ක්ෂණිකව ජාතික පද්ධතියට එකතු කළ හැකි පද්ධතියක් ලෙස තාප විදුලි බලාගාර සැකැසී නොමැති අතර, එහි ටර්බයින් සහ බොයිලේරු නිසි උෂ්ණත්වයට හා පීඩනයට පත්වන තෙක් නිශ්චිත කාලයක් ගත වනවා.
මුළු රටේම විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවක එකවර විශාල ධාරිතාවක් පද්ධතියට මුදා හැරීමෙන් ග්රිඩ් එකේ සංඛ්යාතය (Frequency) වෙනස් වී මුළු පද්ධතියම යළි බිඳවැටීමේ අවදානමක් පවතින බැවින්, එය පද්ධති පාලන මධ්යස්ථානයේ උපදෙස් මත අදියරෙන් අදියර ඉතා සුපරීක්ෂාකාරීව සිදුකළ යුතු ක්රියාවලියක්.
අනෙක් අතට තාප විදුලි බලාගාර සම්බන්ධයෙන් මිත්යාමය අදහස් සමාජ ගතව තිබෙනවා.
සූර්ය, වායු හෝ ජලය ආශ්රිතව අඩු පිරිවැයකින් බලශක්තිය ජනනය කළ හැකි වුවද, කාලගුණික හා දේශගුණික විපර්යාස හමුවේ ඒවායේ ධාරිතාව හදිසියේ පහළ යා හැකියි.
එබැවින් අව්ව හෝ සුළඟ නොමැති අවස්ථාවලදී, සහ ජලය හිඟ වකවානුවවල දී රටට අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කිරීමේ වගකීම ඉටු කරන්නේ තාප බලාගාර මඟිනි.
ඉහළම ප්රමිතියෙන් සහ නිසි නඩත්තුවෙන් යුතුව පවත්වාගෙන යනු ලබන මෙම බලාගර කිසිදු අවස්ථාවක බලහත්කාරයෙන් ජාතික පද්ධතියට විදුලිය සැපයීමක් සිදු නොකරන අතර, ඒවා සිය සේවය සපයන්නේ ජාතික පද්ධතියට අවශ්යම අවස්ථාවලදී සිදුකරන දැනුම්දීම් අනුව පමණයි.
එබැවින් විවිධ පාර්ශවයන් විසින් පටු අපේක්ෂා ඇතිව සිදුකරන සාවද්ය ප්රචාරවලට නොරැවටී ජනතාව සත්ය අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවත් මේ මොහොතේ පවා තාප බලාගාර මෙරට නොතිබෙන්න රට අඳුරේ බවත් එම බලශක්ති ක්ෂේත්රයේ ප්රවීණයන් අවධාරණය කර සිටියා.
