ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20-20 තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඩුබායි හිදී ඊයේ (06) රාත්‍රියේ පැවති මෙම තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තේ කඩුලු හතරකින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 114ක් රැස් කළා.

මෙහිදී චමෝදි ප්‍රබෝධා බංග්ලාදේශ ඉනිමේ කඩුලු 03ක් ලකුණු 21ක් තුළ දවාගත් අතර සුගන්ධිකා කුමාරි ලකුණු 22කට කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 115ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටියට පිවිසි අතර, එහිදී හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා ලකුණු 18ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිතිකාරිනියන් පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා B කාණ්ඩයේ සහභාගී වූ මුලික වටයේ තරග තුනම ජයගෙන එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.