වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රමාද වූවාට සාධාරණ හේතු කියන්න අවස්ථාවක්

2026.06.30 වන දිනෙන් පසුව එනම් නියමිත දිනය පසුවී (2026.08.31 දින දක්වා) ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය ප්‍රකාරව ප්‍රමාද වූ දින ගණනට අදාළව පරිපාලන දඩ මුදලක් අය කිරීම නීත්‍යානුකූලව සිදුකළ යුතුව තිබෙනවා.

කෙසේ වුව ද, එසේ පරිපාලන දඩ අය කර ගැනීමට පෙර එම ප්‍රමාදය සම්බන්ධයෙන් යම් සාධාරණ හේතුවක් තිබේ නම් එම සාධාරණ හේතුව කොමිෂන් සභාව වෙත දැන්වීමේ අවස්ථාව ලබා දීමට කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති අල්ලස් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු එහෙත් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ නියමිත දිනට ප්‍රමාද වී ඉදිරිපත් කළ තැනැත්තකු වේ නම් එම ප්‍රමාදය සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදලක් අය නොකිරීමට හේතු 2026 සැප්තැම්බර් මස 30 දින හෝ ඊට පෙර ලිඛිතව (තහවුරු කිරීමේ ලේඛන තිබේ නම් ඒ සමඟ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු බවයි අල්ලස් කොමිසම දැනුම් දෙන්නේ.

.
එසේ යොමු කිරීමේදී, ප්‍රකාශය කළ තැනැත්තාගේ ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකථන අංකය එම හේතු දැක්වීමේදී සඳහන් කර තිබීම අනිවාර්ය වන අතර 2026 සැප්තැම්බර් මස 30 දින වන තුරුත් කොමිෂන් සභාව වෙත හේතු දැක්වීමක් නොලැබුනේ නම්, ප්‍රමාදය පිළිබඳව දැක්වීමට හේතුවක් නොමැති බව සලකා පරිපාලන දඩ අය කර ගැනීමට කටයුතු කරන බව වැඩි දුරටත් දන්වා සිටිනු ලැබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්